වියට්නාම ශ්‍රී ලංකා තානාපතිතුමිය අගමැතිතුමා හමුවෙයි

පෙබ 02, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ධූර කාලය නිමවා මෙරටින් පිටව යන වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ෆැම් ති බික් එන්ගොක් (H. E. Mrs. Pham ThiBich Ngoc) මහත්මිය, උපදේශක සහ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ට්‍රාන්ග්ට්‍රොන්ග් තන් (Mr. Tran Trong Thanh) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

    එහිදී තානාපතිනිය සිය ධුර කාලය පුරාවටම ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සහයෝගය පිළිබඳව ඇයගේ කෘතඥතාවය අග්‍රාමාත්‍යතුමා වෙත ප්‍රකාශ කළාය. ඇය ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සිදු කළ අංශ කිහිපයක් පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමාව මෙහිදී දැනුවත් කළාය.

    ඵෙතිහාසික වශයෙන් වියට්නාමය සහ ශ්‍රී ලංකාවේ බහුතරයක් ජාතීන් බුද්ධාගම සමඟ ශක්තිමත් බැඳීමක් ඇති බව තානාපති ෆැම් ති බික් එන්ගොක් මහත්මිය පැවසීය. දෙරට අතර ඇති ආගමික සබඳතා සහ වෙළඳ සබඳතා ද තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව ද එතුමිය එහිදී ප්‍රකාශ කළාය.

    කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය යන අංශ දෙකෙහිම දෙරටේ දැනුම හා ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීම පිළිබඳව අගමැතිතුමා සහ තානාපතිය මෙහිදී සාකච්ඡා කළේය.

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීම සඳහා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක වේ. එම ක්‍රියාවලිය ද ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

    අග්‍රාමාත්‍යවරයා සිය ජනාධිපති ධූර කාලය තුළ 2009 දී වියට්නාමයට ගිය බව සිහිපත් කළ තානාපතිනිය නැවත වියට්නාමයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට ආරාධනා කළාය.

    මෙම සාකච්ඡාව වෙනුවෙන් අගමැතිතුමාට ස්තූතිවන්ත වෙමින් සිය ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තානාපතිනිය කියා සිටියේ තම රට නියෝජනය කරමින් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ තමන්ට ලැබී ඇති සහයෝගය තම අනුප්‍රාප්තිකයා භුක්ති විඳිනු ඇති බවත්, දෙරට අතර සම්බන්ධතාවය ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් වාසි සැලසෙන පරිදි වර්ධනය වනු ඇති බවත් ය.

    අග්‍රාමාත්‍යවරයා ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තානාපතිනියට ඇගේ අනාගත සියලු ප්‍රයත්නයන් සාර්ථකවීමට සුබ පැතුම් එක් කළ අතර වියට්නාමයේ නායකත්වයේ සහ ජනතාවගේ අඛණ්ඩ සහයෝගය හා මිත්‍රත්වයට ද ස්තූතිවන්ත විය.

    මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක් විය.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 18:27

    Latest News