මධ්‍යම පළාත් කළමනාකරණ සහකාර සේවයට නවක ‍නිලධාරීන් 182ක්

ජන 24, 2021

    මධ්‍යම පළාත් කළමනාකරණ සහකාර සේවය සදහා 2020 වර්ෂයේ පැවති විවෘත තරග විභාග‍යකින් අනතුරුව තෝරා පත්කරගත් මහත්ම මහත්මීන් 182ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (23) සිදුවිය.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රීක්කය සදහා පත්වීම් 98ක් , මාතලේ දිස්ත්‍රීක්කය සදහා පත්වීම් 33ක්, නුවරඑළිය දිස්ත්‍රීක්කය සදහා පත්වීම් 38ක් සහ ආබාධිත පදනමෙන් පත්වීම් 03ක් ලබාදීමට නියමිත අතර, පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සංකේතාත්මක ලෙස 100 දෙනෙකු සදහා මෙදින පත්වීම් පිරිනැමිම සිදුවිය.

    නව පත්වීම්ලාභීන් අමතමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් සිටියේ 6000කට අධික පිරිසක් අතරින් මෙලෙස තේරී පත්වු නව පත්වීම්ලාභීන් බොහෝ පිරිසක් පළාත් පාලන අයතනයන්හී සේවය සදහා යෙදවීමට නියමිත බවත්, එමගින් වඩාත් හොද ජනතා සේවයක් ඉටු කිරීම සදහා අවස්ථාව සැලසෙන බවයි.

    ජනතා මුදලින් වැටුප් ලබන්නන් වශයෙන් ජනතාව සදහා ලැදිව ආදරයෙන් කටුයතු කිරීම වැදගත් වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍ය දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශ අනූකූලව රට සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලේදී මෙම නව පත්වීම් ලාභීන්ටද විශේෂ වගකීමක් පවතින බවත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාව තුල යහපත් ආකල්ප ඇතිකිරීම සදහා කාර්යක්ෂම සේවාවක් නව පත්වීම්ලාභීන් ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

    මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් ඩබ්.දයානන්ද යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියේය.

    Latest News