මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ජන 16, 2021

    ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

    ඊයේ පැවති ඡන්ද විමසීමේදී බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත හිමිකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩබ්.ආර්. ජගත් කුමාර වේරගම මහතා එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්විය.

    මොරවැව ප්‍රාදේශීය සභාව මන්ත්‍රී ආසන 16කින් සමන්විතයි. 2018 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී එහි මන්ත්‍රී ආසන 7ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවිය.

    එහිදී දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විපක්‍ෂය ලෙස කටයුතු කළේය.

    ඉකුත් දෙසැම්බර් 31 පැවති ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය-වැය ඡන්ද විමසීමේදී බහුතර ඡන්දයෙන් එම අයවැය ලේඛනය පරාජයට පත් කෙරිණ. ඒ අනුව, සහෝදර පක්‍ෂවල ද සහය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි පාලන බලය තහවුරු කර ගත්තේය.

    එම පෙරමුණේ මන්ත්‍රීවරුන් 7ක් සමඟින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු ද පොදුජන පෙරමුණට පක්‍ෂව ඡන්දය භාවිත කර තිබේ.

    Latest News