වසර 25කට පසු "උප්පුවේලි නගර-කඩවත්සතර" ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ජන 15, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ "උප්පුවේලි නගර-කඩවත්සතර" ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

    පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භ සිට එහි බලය හිමිකර ගෙන සිටියේ දෙමළ ජාතික සන්ධානයයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ආර්.ඒ.ටී.එස්.ඩී. රත්නායක මහතා අද උදේ වැඩ බාරගත්තේය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 13කින් සමන්විතයි. "උප්පුවේලි නගර-කඩවත්සතර" ප්‍රාදේශීය සභාව සඳහා හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 22ක්. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීධූර 7ක් ලබා ගනිමින් එහි බලය පිහිටුවීය.

    ඔවුන්ට බලය අහිමිවුයේ ප්‍රාදේශීය සභාවේ පසුගිය වාර්ෂික අය-වැය ලේඛනය දෙවරක් පරාජය වීම හේතුවෙන්. අද පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් පක්‍ෂවල සහයෙන් ඡන්ද 12ක් හිමිකර ගත්තේය.

    දෙමළ ජාතික සන්ධානයට හිමිවුයේ ඡන්ද 10ක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පස් දෙනා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා සහ ඊ.පී.ඩී.පී සංවිධානය, දමිළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්‍ෂවලින් පත්ව සිටින මන්ත්‍රීවරු තිදෙනා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්‍ෂව ඡන්දය භාවිත කළේය.

    Latest News