පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ඉල්ලීමකට කරුණු දැක්වීමට මහ බැංකුවේ අධ්‍යක්ෂවරයක්ට නොතීසි

ජන 07, 2021

    දැනටමත් තහනමට ලක්කර ඇති සිය බැංකු ගිණුම් වලින් නීතිඥ ගාස්තු ගෙවීම සඳහා මුදල් මුදාහරින ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම විසින් සිදු කළ ඉල්ලීමක් පිළිබඳව පෙබරවාරි මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.

    පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අදාළ නීතිඥ ගාස්තු ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සිය බැංකු ගිණුම් මේ වන විට තහනමට ලක් කර ඇති හෙයින් එම මුදල් සපයා ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

    ඒ අනූව අදාළ මුදල් ලබාගැනීම සඳහා සිය ගිණුම්වලට පනවා තිබෙන තහනම ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ සමාගමේ දළ පියවීම් පද්ධති ගිණුමෙන් මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය නොවන බැංකු අධීක්ෂණ අංශයෙන් කරුණු විමසිය යුතු බවත් දන්වා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය අධික්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට පෙබරවාරි මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළේය.

     

    Latest News