EPF මුදල් අක්‍රමිකාතාවක්; FCIDය අධිකරණයට හෙළි කරයි

ජන 23, 2019

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, භාණ්ඩාගාර බැදුම්කර සඳහා ආයෝජනය කිරිමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට, සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට කරුණු ඉදිරිපත් කරමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (22) දැනුම් දුන්නේය.

    සේවක අර්ථසාධක අරමුදලේ කළමණාකාරිත්වය විසින් ද්විතියික වෙළෙඳපල ආයතන දෙකක් හා බැංකුවක් සමග එකතු වී වංචාවක් සිදු කර ඇති බවත් රුපියල් බිලියන 8යි මිලියන 150ක් ආයෝජනය කිරිමේදී රුපියල් මිලියන 83ක පාඩුවක් සිදුව ඇති බවටත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

    වසර 2016 ජනවාරි මස 08 වනදා මේ ගනුදෙනුව සිදු කර ඇති බවට ඉකුත් 2018 වසරේ අප්‍රේල් මස 08 වනදා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊමේල් පණිවිඩයක් යොමු කරමින් සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරිමක්, සාපරාධි විශ්වාසය කඩවීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඒ තුළින් යම් මුදල් විශුද්ධිකරණයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් කියා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කළ බවත් කියා සිටියේය.

    මේ ගනුදෙනු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, වෙල්ත් ට්‍රස්ට් සෙකියුරිටීස් ආයතනය ඇතුලු ආයතන හතරක් සම්බන්ධ වී ඇති බවත් අධිකරණයට කියා සිටි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අරමුදලේ ඉහළ නිලධාරින් දෙදෙනෙකු අයථා මුදල් උපයා ඇද්දැයි විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය. සිද්ධියට අදාලව විමර්හණ සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් පැමිණිල්ල බහා තබන ලෙසට නියෝග කළේය.

     

     

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 13:09

    Latest News