බ්‍රහස්පති හා සෙනසුරුගේ මහා ග්‍රහ සුසංයෝජනය ලබන 21

දෙසැ 19, 2020

    සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු සුසංයෝජනයක් වසර 397 කට පසු ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් ලෙස ලබන 21 වැනිදා රාත්‍රී ඔබට දැක ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින මෙම බ්‍රහස්පති සහ සෙනසුරු අතර එදිනට එම් ග්‍රහ ලෝක දෙක එක්ව ආසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකිය.

    හිරු බැස යෑමෙන් පසු මෙම ග්‍රහලෝක දෙක බැසයාමට පෙර මේදිනවල ඔබට බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනෙනු ඇත.

    2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක,අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණේ.

    සෙනසුරු සහ බ්‍රහස්පතී රාත්‍රී 8.14 ට බැසයන බැවින් මෙය හොදින් නැරබීමට නම් උස් ගස් වලින් හෝ උස ගොඩනැගිලි වලින් තොර බටහිර අහස හොදින් පෙනෙන ස්ථානයක් හෝ උස ස්ථානයක් සුදුසු වේ.

    දෙසැම්බර් 21 දා ඉර බැස ගොස් මින්ත්තු 30 සිට, එනම් ප.ව. 6.30 පමණ සිට ප.ව. 7.30 පමණ දක්වා කාලය තුළ තරමක් නිරත දිගට වන්නට බටහිර අහස දෙස පියෙවි ඇසින් බැලු විට මෙම චමත්කාර දසුන දිස්වනු ඇත.

    මෙම බ්‍රහස්පති ග්‍රහයා සෑම වසර 19.6 කට වරක් සෙනසුරු ග්‍රහයාට ආසන්න වන දුර්ලභ සිදුවීමක් ඇති වන අතර මෙම දෙසැම්බර් 21 සිදුවීම මෑත ඉතිහාසයේ දක්නට ලැබෙන ආසන්නතම අවස්ථාව වේ.

    මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397 කට පෙර වන අතර එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරේක්ෂය ගොඩනඟා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් හතර දෙනා, සෙනසුරුගේ වළලු සහ හිරු ලප සොයාගෙන වසර 13 කට පසුව,එනම් 1623 ජූලි 16 වන දිනය.

    ඒ කලා 5 කින් පමණය.

    2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි ද තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පවසයි.

    Latest News