පවතින තත්වය මත බොරු කළොත් වසර 5 ක් සිර දඩුවම්

දෙසැ 18, 2020

    රෝහලකට හෝ යම් ආයතනයකට ඇතුළු වීමේදී ව්‍යාජ තොරතුරු හා ව්‍යාජ ලිපින ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවත් එවැනි වරදකට අසුවන්නකුට වසර පහක සිර දඬුවමක් පැනවෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (17) පැවැසීය.

    පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේදී මෙන්ම රෝහලකට ඇතුළත්වීමේදී අනිකුත් සෞඛ්‍ය කටයුතු වලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබාදෙන බවට තොරතුරු වාර්තාවී ඇති හෙයින් ඒ සම්බන්ධ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීවේය.

    යම් කිසි පුද්ගලයකු ව්‍යාජ නමක් ව්‍යාජ ලිපිනයක් රජයේ නිලධාරියකුට ලබා දෙන්නේ නම් එය රජයේ නිලධාරියකුට අසත්‍ය තොරතුරු සැපයීමක් වන අතර ව්‍යාජ නමක් ලබාදීම අනෙකකු ලෙස පෙනී සිටීමේ වංචාවක් සිදු කිරීමක් බවද යම් ලේඛනයක් සකස් කිරීමට ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම් එය කූඨ ලේඛනයක් සකස් කිරීමක් වන බවද එවැනි පුද්ගලයන්ට මේ සියලු චෝදනා සහ නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට හැකි බව හෙතෙම පැවැසීය.

    එවැනි නඩුවකදී වරදකරුවකු වන අයට වසර පහ දක්වා වූ කාලයක් බන්ධනාගාරගත කළ හැකි බැවින් එම නිසා කිසිදු අවස්ථාවක ව්‍යාජ නමක්, ව්‍යාජ ලිපිනයක් ලබාදීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.

    Latest News