අපරාධ කර හමුදා නිල ඇඳුමින් සිටින්නන්ට නීතිය (වීඩියෝ)

ජන 21, 2019
  • අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන්ට එරෙහිව, ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උත්සවයකට අද(21) එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

    ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා....

    “රණවිරුවෙක් වීමට අනිවාර්යෙන්ම තමන්ගේ නමට පදක්කමක් ගැසට් කළ යුතුමයි. මාස තුනකට කලින් හමුදාවට බැඳුණු කොල්ලත් බස් එකෙන් බහින්නේ මම රණවිරුවෙක් කියලා හිතාගෙන. නමුත් ඒක හරියන්නේ නැහැ. මේ රටේ බොහෝ දෙනා රණවිරුවෝ කියන එක වැරදි විදිහට අර්ථකතනය කරනවා. හමුදාවේ සේවය කරපු එක්කෙනෙක් හමුදාවෙන් ගිහිල්ලා මිනියක් මරපු දවසකට එයාට රණවිරුවෙක් කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවෙක් කියලා. ඒවගේ අයට ලංකාවේ නීතියට අනුව උපරිම දඬුවම් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒක ක්‍රියාත්ක වෙමින් පවතිනවා. ලංකාවේ සිදුවෙච්ච බිහිසුණු මිලේච්ජ මිනිමැරුම් කළ 11 දෙනෙකුට අපි ඉදිරියේ දී නඩු පවරනවා. එතකොට ඩයස්පෝරාවට කියන්න බැහැ මානව හිමිකම් කඩකරපු හමුදා නීතිය කඩපු අයට දඬුවම් දෙන්නේ නැහැ කියලා. රණවිරුවන් වෙනුවෙන් උපරිම පහසුකම් ලබාදිමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව යුද්ධයෙන් පුර්ණ ආබාධ තත්වයට පත්වූ රණවිරුවන්ට අපි උපරිම පහසුකම් සපයන බවයි.“ හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    පිස්තෝල සහ රිවෝල්වර් සඳහා ආරක්ෂක අමාත්‍යංශය ලබා දී තිබූ බලපත්‍ර තාවකාලිකව අහෝසි කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වන අතර ඔහු පිළිගැනීම සඳහා උත්සවය සංවිධාන කර තිබිණ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:10

    Latest News