අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,
ගරු කථානායකතුමනි,
අය-වැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේ. මේ සභාව දන්නවා 2020 කියන්නේ ඊට කලින් අවුරුද්දෙදි පුරෝකථනය කරන්න බැරි අභියෝග රාශියක් අපිට භාරගන්න වුණ අවුරුද්දක්. 2019 දි අපි කවුරුවත් හිතුවේ නෑ මේ වගේ ඛේදවාචකයකට මුළු ලෝකයම මුහුණදෙයි කියලා. නමුත් ඒ අභියෝගය අපි ඉතා හොඳින් භාරගත්තා. අපි ගැන ජනතාව තබපු බලාපොරොත්තු හුළඟේ ගහගෙන යන්න ඉඩදුන්නේ නෑ.
රජය ජනතාවට දෙන සහන වැඩි කරලා කොවිඩ්-19 පළමු රැල්ල සාර්ථකව පාලනය කළා. ඊළඟට කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කරගන්න දැවැන්ත පියවර රැසක් ගනිමින් පවතිනවා. දැන් නිරෝධායනය කරන පවුලකට සති දෙකකට රු. 10,000ක් වටිනා ආහාර මල්ලක් ලබා දෙන්න සති දෙකකට වඩා වැඩිවන විට ඒ්ක තවදුරටත් දීර්ඝ කරන්නත් පියවර අරගෙන තිබෙනවා. ඊට අමතරව Lockdown නිසා ජීවනෝපාය අහිමි වන පවුල්වලට රුපියල් 5,000ක මුදල් දීමනාවක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
කථානායකතුමනි, අපි මුහුණදී තිබෙන තත්ත්වය තේරුම් ගන්න මම උදාහරණයක් දෙන්නම්. මේ අය-වැය අපි ඉදිරිපත් කරන කොට රුපියල් බිලියන 70ක් කොරෝනා වසංගතයට වියදම් කරලා තිබුණා. අය-වැය තෙවන වර කියවන අද වෙනකොට අපි බිලියන 82ක් කොවිඩ් මර්දනයට වියදම් කරලා තියෙනවා. දෙසැම්බර් වන විට ඒක බිලියන 90 ඉක්මවයි. ඒ නිසා මේ වගේ දැවැන්ත අභියෝග භාරගනිමින් ඉදිරිපත් කරන අයවැයක් බව මම කියන්න ඕනේ.
ගරු කථානායකතුමනි, අපි ලෝකයත් එක්ක කොයිතරම් ගැටගැහිලා තියෙනවාද කියන එක තේරුම් ගන්න හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව ලෝකයේ සිද්ධවෙන දේවල් දේශපාලන, ආර්ථික, සෞඛ්‍යමය වශයෙන් පවා සිද්ධවෙන දේවල් අපිට කොයිතරම් බලපානවද කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ ලෝකේ සිද්ධවෙන දේවල් මේ සභාවට පවා ඉතාම තදින් බලපාන බව මම කියන්න ඕනේ. මේ වගේ ලෝක අර්බුදවලදී පිටස්තර ලෝකය මත යැපෙන රටවල් ඉතාම අසරණ වෙනවා. අපි අපේ රටේ ආර්ථිකය දේශීය වශයෙන් ගොඩනඟාගෙන තිබුණා නම් මේ වගේ අර්බුදවලට මුහුණදෙන්න හොඳටම පුළුවන්කමක් තිබුණා. ඒක තමයි කොවිඩ් -19 අපිට උගන්වපු පාඩම. අපි වේලාසනින්ම මේ තත්ත්වය තේරුම් අරගෙන තිබුණා. ඒ නිසා තමයි සෞභාග්‍යයේ දැක්මේ දේශීය ආර්ථිකයක්, දේශීය කෘෂිකාර්මික දියුණුවක් ගැන අපි හිතුවේ.
මේ අයවැය හැදුණේ සෞභාග්‍යයේ දැක්ම පදනම් කරගෙන. වෙන අයවැයවල තිබුණ අරමුණු නෙමෙයි මේ අයවැයේ තියෙන්නේ. වෙනත් අයවැයවල අයවැය හිඟය පියවාගැනීමට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මේ අයවැය අපි සම්පූර්ණයෙන්ම වෙන්කරලා තියෙන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය නිෂ්පාදකයා ගොඩනඟාගෙන ලෝකයට මුහුණදෙන්න පුළුවන් සහ මේ වගේ ඛේදවාචකවලට මුහුණදෙන්න පුළුවන් රටක් ගොඩනඟාගන්න. සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් අපි යොමුකරලා තියෙනවා. ආහාර අපිම නිපදවා ගැනීම අපේ රට නඟාසිටුවන්න තිබෙන හොඳම මාර්ගයයි. මෙතෙක් කාලයක් වී කිලෝවට ගෙව්වේ රුපියල් 32යි. අපි ඒක රුපියල් 50 දක්වා වැඩි කළා. පොහොර නිකම්ම සහනාධාරයක් හැටියට ලබා දුන්නා. මෙහෙම කළාම ගොවියන්ගේ ආදායම දෙගුණ වුණා.
ගරු කථානායකතුමනි, මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන්ගත්තේ නෑ. ඉදිරි ඡන්දය බලාගෙන හදපු අකුරක් කොමාවක් මේ අයවැයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ. මේ අයවැයෙන් රුපියල් බිලියන 350ක් අපි මහාමාර්ගවලට වෙන්කරනවා. එඩ්වඩ් බාන්ස් ආණුඩුකාරයාගෙන් පස්සේ දැවැන්තම මාර්ග විප්ලවය සිද්ධවුණේ අපේ කාලයේ තමයි කියලා කවුරුත් පිළිගන්නවා. මට ඉතාම කණගාටුයි විදේශිකයකුගේ නමක් රටට සේවයක් කළ ගොඩට දාලා සළකන්න වීම ගැන.
මේ ක්ෂේත්‍රයට ඔහු කරපු සේවය තරම් සේවයක්වත් විපක්ෂය කරලා නැති හින්දයි මට ඒ නම මතක් කරන්න සිදුවුණේ. නමුත් අපි 2005-2010ත් අතර කාලයේ හදපු පාරවල්වලට බොහෝ දේ කිව්වා. නමුත් අද ඒ පාරවල්වලින් ප්‍රයෝජන ගන්නේ මන්ත්‍රීවරු ද? ධනපතියන් පමණක්ද කියලා මම අහන්න කැමතියි. අද මේ පාරවල්වල එන්නේ ගමේ පොදු ජනතාව. පොදු ප්‍රවාහන සේවාවන්වල හිමිකාරයෝ. කෙහෙල් මලේ ඉඳලා කිරිමුට්ටිය දක්වා බොහොමයක් දේවල් නගරයේ වෙළෙඳපොළට එන්නේ මේ පාරවල් දිගේ. අවුරුදු 05ක් තුළ කිලෝ මීටර් දෙක තුනක්වත් දුරට පාරක් හදපු නැති අයට මේවා තේරුම්ගන්න පුළුවන්කමක් නෑ.. ණය ගැන බැන බැන හිටපු අයට මේවා තේරුම්ගන්න පුළුවන්කමක් නෑ. අපි මේ අයවැයෙන් වියදම් කරන බිලියන 350ම පොදු ජනතාවගේ සාක්කුවට දාපු බිලියන 350ක් බව මම කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි මේ වන විට බොන වතුරට බිලියන 135ක් වෙන්කරලා තියෙනවා. ඒක අපි වෙන් කරන්නේ 2024දි සියලු ජනතාවට බොන වතුර ලබාදෙන්න.
ඒ වෙන්කිරීම්වලට අමතරව තවත් ඩොලර් බිලියන 2000ක ව්‍යාපෘති මේ රටේ ක්‍රියාත්මක කරනවා. මෙගාවොට් 600ක විදුලිබල ව්‍යාපෘතියක් ඒකට අයිතියි. ඒ වගේම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, වරාය පුළුල් කරන්නත් අපි ඒ මුදල් යොදවා ගන්නවා. මේ සියල්ල ලැබෙන්නෙ පොදු ජනතාවට. ඒ විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ රටේ ඇති කළා.
ඉතිහාසයේ පළමු වතාවට 2020 අගෝස්තු 20 අංක 2187/10 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් විශේෂ ප්‍රමුඛතා අංශ හඳනා ගෙන අමාත්‍යාංශ සඳහා පැහිදිලි විෂය පථයක් වගේම කාර්යයන් වෙන්කර දුන්නා. ඒ් වගේම ඒ්වායේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය මැන බැලීමට පැහැදිලි නිර්නායක ලබාදුන්නා.
දැන් අයවැය මගින් වෙන් කරනු ලබන මුදල් අයත් වන්නේ අපේ රටේ සමස්ත ජනතාවටයි. පළමු වතාවට රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරින් බවට පත් කිරීම නිසා වෙන් කරන අරමුදල් සඳහා ඔවුන් සෘජු වගකීමට මෙන්ම වගවීමට ද බැදි සිටිනවා. ඒ් නිසා රජයේ ප්‍රතිපත්ති පැහැදිලිව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබෙනවා.
දැනට පවතින නීති හා රෙගුලාසි බොහොමයක් යල්පැන ගිහින්. ඒ් අනුව මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, ඉඩම් හා සම්බන්ධ නීති වැනි ක්‍රියාදාමයන් නැවත සමාලෝචනයකට භාජනය කරමින් පවතිනවා. චක්‍රලේඛ 59ක් ඒකතු කරමින් පැහැදිලි මුදල් රෙගුලාසි ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කළා. නව මුදල් රෙගුලාසි දැනටමත් කෙටුම්පත් කළා වගේම 2021 වසරේ පළමු කාර්තුව අවසන් වනවිට ඒය නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.
අපේ අධිකරණ ඇමැතිතුමා පහුගිය දවසේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කිව්වා දහස් ගණනක් නඩු විසඳෙන්නේ නැතිව උසාවිවල ගොඩගැහිලා තියෙනවා කියලා. ඒ සඳහා අපි විනිශ්චයකාරවරුන් 20ක් පත් කරලා නඩු විසඳීමට තියෙන අවස්ථා ගණන වැඩි කළා. අපි කියනවා යුක්තිය නිසි වෙලාවට ඉටු වෙන්නේ නැත්නම් ජනතාවට අයුක්තියක් සිද්ධවෙනවා කියලා. ඒ නිසා උසාවි පරිපාලනය සඳහා නව තාක්ෂණය යොදාගන්න, ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට පියවර ගනිමින් ඉන්නවා. දිරාපත්වෙලා තියෙන අබලදුබල වෙලා තියෙන උසාවි ගොඩනැඟිලි වේගයෙන් ප්‍රතිසංස්කරණය කරනවා. මේවත් පොදුජනතාවට අයිතිවෙන දේවල් බව අපි මතක තියාගන්න ඕනේ.
බදු අඩු කිරීම තුළින් රාජ්‍ය ආදායම අඩු වෙතැයි බොහෝ අය මැසිවිලි නැගුවා. මේ බදු ගහලා වැඩිපුර අමාරුවේ දාලා හිටියේ දේශීය ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකාරයෝ. මට මතකයි යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ඒදා රාජපක්ෂ බද්ද කියලා බද්දකුත් ගැහුවා. මේ බදු ගැහීම නිසා මේ රටේ ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ අකර්මණ්‍ය වෙලා හිටියේ. බොහෝ ව්‍යාපාර වැහුණා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුවලට සින්න වෙමින් තිබුණේ. අපි බදුබර අඩු කළා. ව්‍යාපාර කරගෙන යන්න බැරිව බදු ප්‍රතිශත ඉලක්කම් තිබුණාට රජයට ආදායම් ලැබෙනවාද? රජය බදු ගන්න නම් ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න ඔ්නෑ. අපි මේ බදුබර අඩු කළා. නමුත් රජයට පාඩු වුණේ නෑ. 2020 පළමු මාස 10 තුළ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවලින් 75%ක් ලබාගන්න පුලුවන් වුණා. කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ආනයනය අඩුවුණත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,200 කට පමණ ආසන්න අගයකට ලබාගැනීම ඉහළ කාර්ය සාධනයක්.
සංකීර්ණ බදු පද්ධතියක් වෙනුවට සරල බදු පද්ධතියක් ඇති කිරීමේ මුලික පියවර වශයෙන් බදු වර්ග කිහිපයක් ඒනම් ණය ආපසු ගෙවීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තුව සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ආදී බදු කිහිපයක් අහෝසි කළා. ඒමෙන්ම සිගරට්, මත්පැන්, ඔට්ටු හා සුදු, සන්නිවේදන හා වාහන වැනි අයිතම සඳහා පනවා තිබු බදු රාශියක් වෙනුවට ඒක් තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීමට 2021 අයවැය මගින් කටයුතු කරමින් සිටිනවා. මෙම බද්ද on-line හරහා ගෙවන්න පුළුවන්. ඒමගින් රාජ්‍ය ආදායම තවදුරටත් තහවුරුවීම මෙන්ම බදු පරිපාලනය සරල වෙනවා.
මේ අයවැය ඉදිරිපත් කළහම බොහොම දෙනෙක් අපේ ණය ගැන කනස්සල්ල පළකළා. අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා විපක්ෂය සැප්තැම්බර් මාසයේ ඉඳන් ලොකු බලාපොරොත්තුවකින් කතා කළා. මේ සභාවේ ඇතැම් අය කතාකරලා කිව්වා ණය ශ්‍රේණිගත කිරීම්වල අපේ අපි ඉතාම පහළට වැටිලා තියෙනවා කියලා. නමුත් පහුගිය වකවානුවේ ණය ශ්‍රේණිගතකිරීම් ආයතනයක දත්ත අනුව ලෝකේ රටවල් 40ක් පමණ පහළ වැටිලා තියෙනවා. මේ කවුරුත් කිව්වේ අපිට ඔක්තෝබර් ණය වාරිකය ඩොලර් බිලියන ගණන ගෙවාගන්න බැරිවෙයි කියලා. නමුත් අපි ඔක්තෝබර් දෙවැනිදා අපි ගෙවිය යුතු ඩොලර් බිලියන ගණන නිසි වෙලාවට ගෙව්වා. ඒත් ඔක්තෝබර් 04 වැනිදා අපි ණය ශ්‍රේණිගත කිරීම්වල වාර්තාවේ පහළට දැම්මා. හැබැයි මේ සභාවේ සෙසු රටවල් 40ක් ණය ශ්‍රේණිගත කිරීම් වාර්තාවේ පහළට ගිය බව කතා කළේ නෑ. ඒ වගේම මේ සභාවේ ඇතැම් අය ඔක්තෝබරයේ අපිට ගෙවන්න බැරිවෙයි කියලා කියපු ණය වාරික ගෙව්ව එක ගැනත් කතා කළේ නෑ. එහෙම තමයි අයවැය විවාද.
ඒ විතරක් නෙමෙයි අපිට භාරදුන්නේ නොපියවූ බිල්පත් විශාල ප්‍රමාණයක් තියෙන ආණ්ඩුවක්. 2019 වසරෙදි නොපියවූ බිල්පත් විශාල ප්‍රමාණයක් 2020 වසරට ගෙනත් තිබුණා. පසුගිය වසරෙදි කළයුතු ගෙවීම් මේ වසරේ දි කරන්න වුණාම රජයේ වියදම් කළමනාකරණයේදී විශාල පීඩනයක් දරන්න සිද්ධවෙනවා. නමුත් අපි ඒ බිල්පත් සියල්ලම මේ මොහොත වන විට ගෙවලා අවසානයි. ලංකාව කිසි වෙලාවකවත් ණය ගෙවීම පැහැරහැරලා නෑ. විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය තොගය 2019 වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 43%ක් තරම් ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසාම අපි මේ අවදානම මගහැර ගන්න දේශීය මූලාශ්‍ර මඟින් ණය ලබාගන්න කැපවෙලා තියෙනවා. අඩු පොළී අනුපාතිකය මේ සඳහා ලොකු පිටුවහලක් වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ.
අපි මේ ණය ගෙව්වේ අපේ තිබුණ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියේ නිවැරදිකම හින්දා. කොවිඩ් -19 නිසා දවසකට විශාල වියදමක් දරමින් මේ විදියට ණය ගෙවන්න පුළුවන් වුණේ අපේ ඒ නිවැරදි දැක්ම නිසා. අපිට ඕනකරන දේවල් වගේම උවමනා නැති දේවලුත් විශාල වශයෙන් විදේශවලින් ගෙන්වන සිරිත චිරාත් කාලයක ඉඳන් තිබුණා. සරුංගලය දක්වා දේවල් ගෙන්නුවා. විශාල වාහන ප්‍රමාණයක් මේ රටට ගෙන්නුවා. ඒවායේ පාලනයක් තිබුණේ නෑ. ඒවා අපි පාලනය කළා. අපි මේ ඇති කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රටේ ජනතාව භාරගත්තේ ඉතාම සතුටින්. අද දේශීය කර්මාන්තකරුවන්, කෘෂිකාර්මිකයින්, ව්‍යවසායකයින් ඉතාම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය නොවෙන්න ඒ අය පැහැදිලිවම දන්නවා මේ තියෙන ආර්ථික කළමනාකරණ නියාමයන් යටතේ සාර්ථක වෙන්න පුළුවන් කියලා. මේ නිසා අපේ අපනයන ආදායම් වේගයෙන් වැඩි වුණා. 2020 සැප්තැම්බර් මාසයේ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවලා ගියා. ඒක 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 4.8% ක වැඩිවීමක්.
2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 5.6%ක ඉහළ යෑමක්. මේ වර්ධනය හේතුවෙන් සැප්තම්බර් මාසය වන විට ලංකාවේ රුපියල අති ප්‍රමාණය වුණා. මේ තරම් වසංගතයක් තිබිලත් ලංකාවේ රුපියල අවප්‍රමාණය නොවී පවත්වාගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන්නේ අපේ දැක්මේ තියෙන සාර්ථකත්වය බව මම මේ සභාවට කියන්න ඕනෑ. මේකෙන් පෙනී යන්නේ ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයට අපිට සාර්ථකව මුහුණදෙන්නට ඇති හැකියාව. කොවිඩ් -19 වසංගතය පැතිරෙන්න පටන්ගත්ත වෙලාවේ ඉඳන් වර්තමානය වෙනකල් 'V' අක්ෂරයේ හැඩේට අපනයනය යළි යථා තත්ත්වයට පත්කරන්න අපිට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්. අපේ අපනයනයන් ඉහළ ගිහින් ආනයනයන් සීමා වුණා. දේශීය ගෙවුම් ශේෂ හිඟය අඩු වුණා. අපේ විදේශ සංචිත ඉහළ ගියා. මේක තමයි අපේ ඉදිරියට යන්න තියෙන මාර්ගය.
ඒ වගේම කොවිඩ් වසංගතය අපිට ඉගැන්නුවා රට ඉක්මනින්ම තාක්ෂණීකරණය කරන්න ඕනෑ කියලා. 2021 අයවැය අපි පිළියෙල කළේ 2013 වසරේ හඳුන්වා දීපු ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු පද්ධතිය හරහා බව මම කියන්නේ බොහොම සතුටින්. 2021 වසර අවසාන වන විට සමස්ත රාජ්‍ය අංශයම අපි මේ පද්ධතියට යොමු කරනවා. ඒ වගේම විද්යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය දැනටත් ආරම්භ කරලා තියෙනවා. 2021 වසර අවසාන වන විට මුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මේ ක්‍රමවේද මඟින් ආවරණය කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
2013 සී අපි හදුන්වා දුන් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) තවදුරටත් පුලුල් කිරීමෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවනවා. ඒමෙන්ම සෑම ගනුදෙනුවක් සඳහාම ජාතික හැඳුනුම්පත් අංකය යොදා ගැනීම මගින් පවතින අකාර්යක්ෂමතාවයන් රාශියක් මඟහරවා ගැනිමට පුලුවන්. 2019 නොවැම්බර් මස අප හදුන්වාදුන් බදු ප්‍රතිසංස්කරණ ඉතා අත්‍යාවශ්‍ය බව කෝවිඩ්-19 වසංගතයෙන් වූ බලපෑමෙන් තවදුරටත් තහවුරු වුණා. බදු ප්‍රතිපත්ති ස්ථාවරත්වය හේතුවෙන් ආයෝජන විශ්වාසය තවදුරටත් වැඩි වුණා. ඒ් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයන්ගේ කාර්ය සාධනය තුළින් මනාව පිළිබිඹු වෙනවා.
මනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් තුළින් රාජ්‍ය මූල්‍ය ඒ්කාග්‍රතාවය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් අතිගරු ජනාධිපතිතුමාගේ "සෞභාගයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින් 2025 වනවිට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.0 දක්වා අඩුකර ගැනීමටයි අපේ ඉලක්කය.
ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සියලුම නිලධාරින්ටත් ස්තූතිවන්ත වෙනවා.