ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ දිනය ළඟදීම..

දෙසැ 08, 2020

    ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇමති මණ්ඩලයට දැනුම් දෙයි.

    ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ සූදානම පිළිබඳව ඊයේ (07) පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමුවිය.

    ඇමති මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනූව සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට එකඟතාවය පල කල හැකි බවයි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන් ද සාකච්ඡා කල බව පැවසූ ජනාධිපතිවරයා හඳුනාගත් ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ( Travel bubbles ) සුදුසු යැයි කීවේය.

    ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් වලට සංචාරකයන් ගෙන්වී‍මේ ක්‍රමවේදය (Travel bubbles ) සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි එකඟතාවක් පවතින බවයි.

    මීට අඳාල ක්‍රමවේදය සකස් කිරීමට පත් කල ඒකාබද්ධ කමිටුවේ අවසන් එකඟතාවයන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටුව සමඟත් ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මේ අතර ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් වැඩපිළි‍වෙලක් සැකසීම සඳහා පත් කල සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඊයේ (07) පැවති සාකච්ඡාවේදී සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවලට සංචාරකයන් ගෙන්වීමේ ක්‍රමවේද ( Travel bubbles ) සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    සංචාරකයන් දිවයිනට පැමිණි විට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වල පමණක් ඔවුන් රැඳවීමටත් ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

    මීට අඳාල ඒකාබද්ධ කමිටු සාකච්ඡා ඉතා කඩිනමින් අවසන් කර ඔවුන්ගේ මාර්ගෝපදේශ විෂයභාර අමාත්‍යවරුන්ට ලබාදීමට මෙහිදී තීරණය කර තිබේ.

    Latest News