Park & Ride සුඛෝපභෝගී බස් සේවාව ජනවාරියේ සිට

දෙසැ 08, 2020

    සුවිශේෂී පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගී බස් සේවාවක් ‘පාක් ඇන්ඩ් රයිඩ්’ (Park & Ride) නමින් ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය.

    මාකුඹුරෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම බස් සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීවේය.

    මහනුවර සිට නෙල්ලිගල දක්වා බස් රථයක් ධාවනය කරවීම නිමිත්තෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගියදා 6 වැනි දින පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පෞද්ගලික වාහනයෙන් රථගාල වෙත පැමිණ එතැන් සිට වායුසමනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකින් නගරය වෙත ගොස් තම අවශ්‍යතා ඉටුකර ගෙන යළි රථ ගාල වෙත පැමිණීමට හැකි ලෙස මෙම නව බස් සේවාව ක්‍රියාත්මකි.

    ජනපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මේ වනවිට මාකුඹුරේ සහ නාවින්නේ රථගාල් ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බවද හෙතෙම කීවේය.

    නව සේවාව සඳහා අවශ්‍ය සුඛෝපභෝගී බස් රථ ඇණවුම් කර තිබෙන බවත්, ඒවා පැමිණෙන තෙක් සංචාරකයන් ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී බස් රථ බදු පදනම මත ලංගම මගින් ලබාගන්නා බවත් හෙතෙම පැවසුවේය.

    සංචාරක ව්‍යාපාර කඩාවැටී තිබෙන නිසා මෙමගින් ඔවුන්ට ද යම් සහනයක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බව ද ඒ මහතා කීවේය.

     

    Latest News