මෙරට ප්‍රථම විශාලතම සුළං විදුලි බලාගාරය අද ජනගත කෙරේ

දෙසැ 08, 2020

    මෙරට ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය අද ජන ගත කෙරේ.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. තම්බ පවනි සුළං විදුලි බලාගාරය ඉදිකර ඇත්තේ, මන්නාරම,නඩ්ඩුක්කුඩා ප්‍රදේශයෙන්. මෙමගින් මෙගාවොට් සියයක ධාරිතාවක් අදියර කිහිපයක් යටතේ, ජාතික විදුලිබල පද්ධතියට එක්වනු ඇති.

    පුනර්ජනනීය බලශක්ති කාණ්ඩයට ගැනෙන සුළං විදුලි බලාගාරයේ විදුලිය නිපදවනු ලබන්නේ, මීටර 90ක් උස කුළුණු මත ඉදි වූ ටර්බයින මාර්ගයෙන්. ඊට සවිකර ඇති සුළං පෙත්තක් මීටර 62ක් පමණ දිගින් යුක්තයි. එවැනි කුළුළු 30ක් සුළං උද්‍යානයේ ස්ථාපනය කර තිබේ.

    ඩෙන්මාර්ක් සමාගමක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය වසරකට අඩු කාලයකින් නිම කිරීම ද විශේෂත්වයක්. අමෙරිකානු ඩොලර් මිලියන 200ක් මීට අයෝජනය කර තිබේ.

    මෙමගින් විසි වසරක් දක්වා අඛණ්ඩව විදුලිය උත්පාදනය කළ හැකියි. තම්බ පවනි සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරු 10.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

    Latest News