මහවැලිය අක්කර 5,400ක් නීති විරෝධිව බද්දට දීලා

දෙසැ 07, 2020

    මහවැලිය අක්කර 5,400ක් නීති විරෝධිව බද්දට දී ඇති බව, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළි කරයි.

    මේ අතර, නීතී විරෝධීව දුන්නේ නෑ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා පවසයි.

    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය වනාන්තරය ඇතුළුව අක්කර 5,400ක ප්‍රමාණයක් පොල්ලේබැද්ද - රඹකැන්ඔය කෘෂි භෝග හා සත්ව ගොවිපළ ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික සමාගම්වලට නීතිවිරෝධි ලෙස බද්දට දීම සඳහා මහවැලි අධිකාරිය කටයුතු කර ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළි කරයි.

    ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ භූමි ප්‍රමාණය ලබා දීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පරිසර අධිකාරියේ සහ පුරාවිද්‍යා සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුව තිබුණ ද එම කිසිදු ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නැතැයි එම ව්‍යාපාරයේ පරිසර හා නීතී නිලධාරී සජීව චාමිකර මහතා පවසයි.

    තවද මෙම ව්‍යාපෘතිය සඳහා ඉහත කී රක්ෂිතයේ භූමි ප්‍රමාණය සමාගම්වලට බදු දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් හෝ ලබා ගෙන නැතැයි ද ඔහු කියා සිටියේය.

    මහවැලි අධිකාරිය මගින් සැලසුම් කර ඇති ඉහත කී ව්‍යාපෘතිය යටතේ කෘෂි භෝග සඳහා හෙක්ටයාර 1821ක්, සත්ත්ව ගොවිපොළ සඳහා හෙක්ටයාර 352ක් හා කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා හෙක්ටයාර 60ක් වශයෙන් ඉඩම් වෙන් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමාගම්වලට ඉඩම් ලබා දීමේ දී මහවැලි අධිකාරිය විසින් පාරිසරික අණපනත් බොහෝමයක් උල්ලංඝණය කර තිබෙන බවයි.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ, මෙම බැහැර කිරීම නීතිවිරෝධීව සිදු කර නැති බවයි.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මධ්‍යම පරිසර අධිකාරියෙත් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකගතාවය අනුව මෙම භූමි ප්‍රමාණය වෙන් කර තිබෙන බවත් මහවැලි කලාපයේ විශාල ඉඩම් බදු දීමේ හැකියාව මහවැලි පනතේ සඳහන් වන බවත් හෙතෙම කීවේය.

    මේ භූමි ප්‍රමාණය බැහැර කර තිබෙන්නේ කාර්මික කටයුත්තකට නොව කෘෂිකාර්මික ව්‍යාපෘතියකට බවත් ආයෝජකයන්ට අතිරේක බෝග වගාවන් සිදු කිරීමට බදු දී තිබෙන බවත් එයින් වැඩිම මුදලක් රජයට ලැබෙන බවත් හෙතෙම පැවසීය.

    Latest News