IMF ණය අහිමි වු හැටි මහ බැංකු අධිපති කියයි

ජන 19, 2019

    ඔක්තෝම්බර් 26 දේශපාලන සිදුවීමත් සමග මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

    දේශපාලන සිදුවීමත් සමග රටට අහිමිවූ බොහෝ දේ අතර මූල්‍ය පාඩුව ඉතා විශාල බව ශ්‍රී ලංකා ආර්ථික සංසදයේ වාර්ෂික සැසිය අමතමින් ඔහු කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ලබා දීමට එකඟව සිටි ණය ආධාර ද ඒ තුළින් අහිමි වූ බව ඔහු පවසයි.

    වගකීම් කළමණාකරණයට රුපියල් බිලියන 300 - 310 අතර මුදලක් සොයා ගැනීමට පාර්ලිමේන්තුවෙන් ගත් අනුමැතිය ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේය. මේ තුලින් මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව ද දැඩි දුෂ්කරතාවකට පත් වූ බවයි, ඔහු පවසා සිටියේය.

    ශ්‍රී ලංකාව 2019 වසරේ දී විදේශ ණය ආපසු ගෙවීම් ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 5900ක මුදලක් ගෙවීමට ඇති අතර පළමු වාරිකයේ දී ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 1600 න් වේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තුල සහ කලාපය තුළ ද වු සබඳතා තුලින් පසුගිය ණය අර්බුදයෙන් මිදීමට හැකිවූ බව මහ බැංකු අධිපතිවරයා මෙම විද්වත් සභාව අමතමින් ප්‍රකාශ කළේය.

    දේශපාලන අර්බුදය තුලින් මාස දෙකක කාලයක් මෙරට ආර්ථිකයට මෙන්ම රටේ මූල්‍ය පද්ධතිය මෙහෙයවීමට ද දැඩි බලපෑමක් එල්ල කළ බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 15:13

    Latest News