මෙරටට කෘෂි අධ්‍යාපනය,තාක්ෂණික දැනුම නොමිලේ දීමට නෙදර්ලන්තයේ එකඟත්වය

නොවැ 26, 2020

    මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා තානාපතිවරිය අතර විශේෂ හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුවිය.

    යුරෝපයටම පළතුරු හා එළවළු සැපයීමේ ප්‍රධාන සැපයුම්කරු වන්නේ නෙදර්ලන්තයයි.

    කෘෂි නිෂ්පාදනය 1.66% ක තරම් පහළ මට්ටමක පැවතිය ද අතරමැදි වෙළදාම තුළවූ යුරෝපයේ සැපයුම මුළුමනින්ම නෙදර්ලන්තය සිදුකරයි.

    එමෙන්ම මල් වෙළදාම අතින් ද යුරෝපයේ ප්‍රමුඛ ස්ථානයක් නෙදර්ලන්තයට හිමියි.

    මේ සඳහා වූ ඇසුරුම්කරණ, කල්තබාගැනීමේ සෞඛ්‍යාරක්ෂිත තාක්ෂණය, ගබඩාකරණය හා අනෙකුත් සේවාවන් රැසකට උසස් තාක්ෂණය යෙදවීම අතින් ලෝකයේ නෙදර්ලන්තයට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්.

    ඒ සඳහා වූ ඔවුන් සතු දැනුම, තාක්ෂණය, අත්දැකීම් මෙන්ම කෘෂි අධ්‍යාපන පහසුකම් ලබාදෙන ලෙස තානාතිපතිවරියගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේය.

    ඒ සියලු සහාය නොමිලේ නොඅඩුව ලබාදීමට නෙදර්ලන්තය රජය සූදානම් බව ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය මෙහිදී අමාත්‍යවරයාට පොරොන්දු විය.

    දීර්ඝකාලීන මිත්‍රරාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සබඳතාවයන් වර්ධනයට සූදානම් බවත්. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෘෂි ක්ෂේත්‍රයෙන් ලංකාව නඟා සිටුවීමට ගන්නා සියලු ක්‍රියාමාර්ග අගය කරන අතරල අවශ්‍ය සියලු සහාය ලබාදීමට නෙදර්ලන්තය රජය සම්බන්ධීකරණය කරන බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ තානපතිවරිය අවධාරණය කළේය.

    පසු අස්වනු තාක්ෂණය ආදිය කෙරෙහි වූ අධ්‍යාපනය අපේ රටට අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

    මෙරට අස්වනු අපනයනය සඳහා වූ දැනුම ද ඒ සඳහා ප්‍රමිතිගත ඇසුරුම්කරණය වැනි ජත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති ආකාරයේ සහාය අවශ්‍ය බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා නෙදර්ලන්ත තනාපතිවරියගේ අවධානය යොමු කලේය.

    ඒ සියලු සහායන් නොඅඩුව ලබාදිය හැකිබවත්, ඒකාබද්ධ බහු භෝග කෘෂිකර්මාන්තය හා ජල පිරිපහදු කළමනාකරණය වැනි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් නෙදර්ලන්තය තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය අමාත්‍යවරයාට මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.

    නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපතිනි අනුක් බාරෝන් මහත්මිය ද මීට එක්විය.

    Latest News