සුවය ලැබු සංඛ්‍යාව 15,000 ඉක්මවයි

නොවැ 25, 2020

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වනවා.

     

    ඒත් සමඟින් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ (24) පස්වරු 9.55 වනවිට තවත් ආසාදිතයන් 171 දෙනෙකු එක්වී තිබේ.

    එම පිරිසත් සමග ඊයේ දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458 ක් දක්වා ඉහළ ගියේය.

    ඊයේ රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

    මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 17,265 ක් වූ අතර ඊයේ රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 17,436 ක් විය.‍

    කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (24) දිනය තුළදී මිය ගොස් ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ගිනිගත්හේන, සියඹලාපේ දකුණ සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74, 54 සහ 42 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද ඊයේ මියගිය අය අතර වෙති.

    මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

     

    කොළඹ මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටියදී ඉන් 20 දෙනෙකු, කොවිඩ් - 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇතැයි, ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

    එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධානය පිනිස යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් මින් 20 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

    මේ අතර ඊයේ (24) සවස 4.00 වනවිට ගතවූ පැය 24 කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24 දෙනෙකු බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා කියා සිටියේ, ඊයේ සවස වනවිට දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4949 දෙනෙකු වන බවි.

    ඊයේ සවස වනවිට දිස්ත්‍රික්කයෙහි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මගින් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කර ඇති මුළු සංඛ්‍යාව 73,840 දෙනෙකි.

     

    අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ ළමයින් දෙදෙනෙකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (24) තහවුරුවීම නිසා එම පන්ති දෙකේ සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.

    නව පාසල් වරාය ආරම්භ වීමෙන් පසු,  23 වැනි දින එම සිසුන් පාසල් වෙත පැමිණ තිබිණ.

    අම්බලන්ගොඩ තිලකපුර පදිංචි මෙම සිසුන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙකි.

    ඔහු ඉකුත් 16 වැනි දින නිවසට පැමිණිමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියී එදින දහවල් ඇතිවු හදිසි අසනීප තත්වයක් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇත. 

     

    පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

    අටළුගම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා එම රෝහලට ඇතුළත් කිරීමෙන් සිදු කළ පරීක්ෂාව අනුව ඔවුන් දෙදනාට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වීමෙන් එම රෝහලේ අංක 3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා තිබේ.

    මේ වනවිට ගැබිනි මව්වරුන් දෙදෙනා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර තිබේ.

    කේතුමති රෝහලේ එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

     

    මුඛ ආවරණ නොපැලදු 15 දෙනෙකු නිරෝධාන හා රෝග මර්ධන සම්බන්ධ පනත යටතේ අත් අඩංගුවට ගත් බව මඩකලපුව මහජන කෝටමුනේ සෞඛ්‍ය පරීක්ෂකා ආර් මිතුන්රාජ් පැවසීය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව සෞඛ්‍ය අංශය මගින් කල හදිසි වැටලීමේදී මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.

    අත් අඩංගුවට පත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් විනිසුරු ඒ සී එම් රිස්වාන් මහතා විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 2000 බැගින් දඩ නියම කරන ලදි.

    මෙවැනි අපහසුතාවයන් වැලකි මහ ජනතාව ගැවසෙන ස්ථානවල සංචරණය කරන විට මුඛ ආවරණ පලදින ලෙස මඩකලපුව සෞඛ්‍ය අංශය ඉල්ලා සිටි.

     

    ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉන් 74 දෙනෙකුම බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක් වේ.

    මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණු අතර, එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

    ඊයේ එම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

     

    ඉකුත් 23 වනදා පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවකින් පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

    ඔහුගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන හයදෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25) හඳුනා ගෙන ඇති බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

    මෙම පළමු අසාධිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි ඉදිකිරීම් වැඩ බිමක සේවකයක් වන අතර ඔහු පස්සර කනවරැල්ල වත්තේ තම නිවසට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව ඔහු ආසාධිතයෙක් බව මුලින්ම හදුනා ගෙන තිබේ.

     

    කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී රජය විසින් මුදල් වැය නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    කොරෝනා ආසාදිත මරණ වැඩි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව සිදුවන බවත් එම මරණ ආදාහනය කිරීමේදී මුදල් අයකිරීමක් සිදුවන බවත් ඒ පිළිබඳව තමන් දැනුවත් දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (25) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විමසා සිටියේ ය.

    කොරෝනා ආසාදිත මරණවල අවසන් කටයුතු සිදු කිරීමේදී මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් විසින් ඊට අදාළ මුදල් වියදම් කළ යුතු බවත් මරණවල අවසන් කටයුතු සිදුකිරීමට මුදල් වැය කිරීමට නොහැකි අපහසුතාවන් ඇති පවුල් සඳහා යම් සහයක් ලබා දීම සිදු කෙරෙන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

    වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ පලාගිය ආසාදිතයෙකු වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

     

    Last modified on බදාදා, 25 නොවැම්බර් 2020 20:14

    Latest News