රිෂාඩ් බදියුදින් අද පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දේ

නොවැ 19, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

    ඒ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්.

    කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේී සහ ජනාධිපති කොමිසමේ පොලිස් එකකයේී සිංහල බසින් ප්‍රකාශ ලබාදී තිබු මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ දෙමළ බසින් සාක්ෂි ලබාදීමට ඉල්ලා සිටීම කැපී පෙනුනා.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස්වු අවස්ථාවේී කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතාගෙන් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

    " මෙම සාක්ෂිකරුට අදාළව මීට පෙර වෙනත් සාක්ෂිකරුවන්ගෙන් සිදුකළ සාක්ෂි විමසීම් වලට බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ සවන්දීමට ඔහු පෙර දිනයේ අවසර ඉල්ලා සිටියා.

    නමුත් එදින ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ සාක්ෂිවිමසීම් රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු කොමිසම් සභාවෙන් පිටත් පටිගත කරමින් සිටියදි සොයාගනු ලැබුවා.

    ඒ හේතුවෙන් කොමිසම් සභාව තීරණය කළා මෙම සාක්ෂිකරුට ඔහුට අදාළ අනෙකුත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම් වලට බන්ධනාගාරයේ සිට සවන්දීමට අවසර ලබා නොදීමට.

    කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් නැමැති මෙම සාක්ෂිකරුව කොමිසම් සභාව වෙත ගෙනවිත් සාක්ෂි විමසීමට අපි බලාපොරොත්තු වුණා.

    එහෙත් මේ වනවිට උද්ගතවී ඇති තත්ත්වය හමුවේ එය සිදුකිරීමට නොහැකිවී තිබෙනවා.

    ඊයේ පස්වරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා.

    රිෂාඩ් බදියුදින් නැමැති සැකකරුව රදවා ඇති මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොවිඩ් - 19 අසාදිතයින් හඳුනාගෙන තිබෙනවා කියලා.

    ඒ වගේම ඔහුගේ කුටිය පිරිසිදුකරන්නාටත් කොවිඩ් - 19 වැළදි ඇති බවට හදුනාගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරයාගේ PCR පරික්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර තිබිලා තියෙනවා.

    මෙවැනි මෙම වටපිටාව තුළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු හෙයින් කොමිසම තීරණය කරලා තියෙනවා.

    මෙම සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාගන්න. " යැයි ජනාධිපති කොමිසමේ සභාපති අහියාචනාධිකරණ විනිසුරුවරයා විවෘත කොමිසම් සභාවට දැනුම්දුන්නා.

    මෙහිී ජනාධිපති කොමිසම හමුවේ නැගීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ටි හබීබ් මහතා කියා සිටියේ තම සේවාදායකයා අද දින උදෑසන බන්ධනාගාරයේ සිට තමන් අමතා මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම දමිළ බසින් කළයුතු බවත් එහිදි භාෂා පරිවර්තකයෙකු අවැසිවන බවත් ජනාධිපති කොමිසමට දන්වන ලෙස ඉල්ලා සිටි බවයි.

    කෙසේ වෙතත් එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ,

    " මිස්ටර් හබීබ්, ඔබගේ සේවාදායකයා එකවර එවැනි ඉල්ලීමක් කළාම අපිට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න අපහසුයි.

    ජනාධිපති කොමිසමට සිටින්නේ එක් භාෂා පරිවර්තකයයි.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අද දින සේවයට වාර්තා කර නැහැ.

    ඔබේ සේවාදායකයාට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස පළමුව නොතිසි නිකුත් කර තිබෙන්නේ ඉකුත් 17 වැනිදා, එතැන් සිට මේ දක්වා ඔහු දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබාදිය යුතුයි කියලා ඉල්ලීමක් කර නැහැ.

    අනික ඔබේ සේවාදායකයා 2020 ජුනි මස 19 දින ජනාධිපති කොමිසමේ පොලිස් එකකය හමුවේ ප්‍රකාශ ලබාදෙද්දි ඔහු පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

    " මා හට සිංහල භාෂව කතා කිරීමට සහ තේරුම් ගැනීමට හැකියි. ඒ නිසා ප්‍රකාශ සටහන් කිරීම සිංහල භාෂාවෙන් සිදුකළාට අකමැත්තක් නැහැ කියලා.

    ඔහු පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදිත් සිංහල බසින් සහ ඉංග්‍රිසි බසින් සාක්ෂි දී තිබෙනවා.

    ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් වු රූපවාහිනි වැඩසටහනක පැය 2කට අධික කාලයක් සිංහල බසින් අදහස් දක්වා තිබෙනවා.

    එබැවින් ඔබේ සේවාදායකයාට පවසන්න සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් සාක්ෂි ලබාදෙන්න කියලා.

    අවශ්‍ය අවස්ථා වලදි පමණක් දමිල භාෂාව භාවිතා කරන්න කියන්න " යැයි සඳහන් කළා.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතාව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට අන්තර්ජාලය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ කරගත් අතර, එහිී ඔහුගේ නීතිඥවරයා විසින් දමිළ බසින් සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කොමිසමෙන් කළ ඉල්ලීමට අදාළව කොමිසමේ මතය පිළිබඳ බදියුදින් මහතාව දැනුවත් කළා.

    කෙසේ වෙතත් එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා දිගින් දිගටම දමිල භාෂාවෙන් කතාකරමින් ඉල්ලා සිටියේ තමන්ට දමිළ බසින් සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

    දමිළ බසින් බදියුදින් මන්ත්‍රීවරයා සිදුකළ අදහස් දැක්වීම ඔහුගේ නීතිඥවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස පරිවර්තනය කළා.

    " මට මගේ මව් භාෂාව භාවිතා කර මේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිය යුතුයි.

    ඒ සඳහා මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අයිතියක් තිබෙනවා.

    මෙවැනි කොමිසම හමුවේ සිදුවන සාක්ෂි විමසීම් වලදි නෛතික කරුණු සම්බන්ධයෙන් භාවිතා කරන්න සිංහල වාග්මාලාව පිළිබදව මට වැඩි අවබෝදයක් නැහැ.

    ඒ නිසා වඩාත් පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමට මට දෙමළ භාෂාව භාවිතා කළ යුතුයි. " යනුවෙන්.

    දිවා විවේකයෙන් අනතුරුව මන්ත්‍රීවරයාගෙන් සාක්ෂි ලබාගැනීම යළි ආරම්භ වු අතර එහිදි භාෂා පරිවර්තකයෙකු ද ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා.

    Latest News