පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකටයුතු සිදුවීමක් පිළිබඳ විමර්ශනය කෙරේ

නොවැ 18, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට කොවිඩ් - 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බැවින් ඔහුව ජනාධිපති කොමිසමට නොකැදවා බන්ධනාගාරයේ සිට කොමිසම පරික්ෂණ කටයුතු හා සම්බන්ධවීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම ජනාධිපති කොමිසම ඊයේ ප්‍රතික්ෂේප කළා.

    ඊට හේතු වුයේ රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පැමිණි තැනැත්තෙකු ඊයේ දින ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම රහසිගතව පටිගත කරමින් සිටියදි හසුවීමේ සිද්ධියක් හේතුවෙන් එම පාර්ශවය පිළිබඳ විශ්වාසය කඩවීම බව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ දින සාක්ෂි විමසීම ආරම්භ කළ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට කොවිඩ් - 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බවයි.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මේ වනවිට රඳවා ඇති වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ 10 වන කුටියේ අනෙක් පසින් පිහිටි 9 වන කුටියෙන් කොවිඩ් - 19 අසාදිතයෙක් හඳුනාගෙන ඇති බව, ඔහුගේ නීතිඥවරයා ජනාධිපති කොමිසමට කරුණු වාර්තා කරමින් කියා සිටියා. 

    ඔහු වැඩිදුරටත් ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේ අදාළ අසාදිත රැදවියා කන්දකාඩු කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර තිබුන ද එම අවස්ථාව වන තෙක් E වාට්ටුවේ සිටින රැදවියන් 38 දෙනාගෙන් කිසිවෙකුගේ PCR පරික්ෂණ සිදුකිරීමට බන්ධනාගාර නිළධාරින් කටයුතු කර නොමැති බවයි.

    එබැවින් තම සේවාදායකයා ජනාධිපති කොමිසම හමුවට පැමිණිමට පෞද්ගලිකව කැමති වුවද, ඔහුව පවතින වතාවරණය හමුවේ ජනාධිපති කොමිසමට නොකැදවා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු හා සම්බන්ධ කරගන්නා ලෙස නීතිඥවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.

    මේ අතර කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් ජනාධිපති කොමිසමේ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදින් මේ දිනවල කොමිසම් සභාවෙන් පිටත රදවා ඇති පසුබිමක රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු මාධ්‍යවේදින් අතර රැදී සිටිමින් කොමිසම් සභාවේ සාක්ෂි විමසීම් පටිගත කරමින් සිටියදි කොමිසම් සභාවට අනියුක්ත පොලිස් නිලධාරින් විසින් ඊයේ සොයාගනු ලැබුවා.

    අදාළ සිදුවීම සහ රිෂාඩ් බදියුදින් මහතා නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරයා විසින් තම සේවාදායකයාට කොමිසම් සභාවේ කටයුතු වලට බන්ධනාගාරයේ සිට සම්බන්ධවීමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි සිය අවධානය යොමු කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද දින සිදුවු සිදුවීම හේතුවෙන් රිෂාඩ් බදියුදින් මහතාගේ පාර්ශවය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බැවින් ඔහුට බන්ධනාගාරයේ සිට කොමිසම් සභාවේ කටයුතු වලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

    මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා කාර්මාන්ත අමාත්‍යවරයාව සිටියදි ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සතොස ආයතනයට අයත් ඩබල් කැබ්රථයක් සැකකටයුතු අන්දමින් අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ දින සාක්ෂි විමසනු ලැබුවා.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් සතොස ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගමේ විශ්‍රාමික සමාන්‍යාධිකාරි කුමාරවඩු ආරියවංශ මහතා කියා සිටියේ ඉකුත් වසරේ ජනවාරි මස 30 වන දින එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදින් මහතා දුරකතනයෙන් කළ ඉල්ලීමකට අනුව තමා යටතේ සිටි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අස්ලාම් නම් ව්‍යාප්ති ඉංජිනේරුවරයෙකුව රට පුරා තම සමාගම විසින් සිදුකරමින් තිබු ව්‍යාප්ති පිළිබඳ අධීක්ෂණයට යොමු කළ බවයි.

    ඒ අනුව අමාත්‍යවරයා විසින් සදහන් කළ පරිදි මෙම අස්ලාම් නම් තැනැත්තාට සතොසට අයත් වාහනයක් ලබාදුන් බවත්, අමාත්‍යවරයා දුරකථන ඇමතුම ලබාදුන් දිනට පසුදිනම එනම් ජනවාරි 31 ක් වන දිනම පිටත්ව ගොස් පොතුවිල් සහ මන්නාරම ප්‍රදේශ වල පැවති ව්‍යාප්ති ගැටලු දෙකක් පිළිබඳ සොයා බලන ලෙස තමන් අස්ලාම්ට උපදෙස් දුන් බවත් විශ්‍රාමික සමාන්‍යධිකාරිවරයා සඳහන් කළා.

    එහිී රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ අස්ලාම් නැමැති පුද්ගලයා මෙම රාජකාරි ගමන නිත්‍යානුකූල නොවන වැඩකටයුතු සඳහා යොදාගත් බව ඔබ දැනුවත් වුයේද යන්නයි.

    "ඔව් ස්වාමිනි, පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවු විමර්ශන වලදි මම ඒ පිළිබඳව දැනගත්තා.

    මෙම ගමනට අස්ලාම් විසින් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක්වත් සම්බන්ධ කරගෙන තිබුණා.

    ඔවුන් වාහනයට නැගලා තිබ්බේ දෙහිවලින්.

    මම ඔහුට කිව්වේ පොතුවිල් සහ මන්නාරම ව්‍යාප්ති ආශ්‍රීත ගැටළු පිළිබද සොයා බලන්න පමණයි.

    ඒ වෙද්දි මම දැනුවත්ව වෙන ව්‍යාප්ති වල ගැටළු තිබුණේ නැහැ.

    නමුත් ඔහු පාලමුනේ තිබ්බ සතොස වෙළදසැලකටත් ගිහින් තිබ්බා.

    මන්නාරමේ සයිට් එකට අමතරව විවෘත කිරීමේ උත්සවයකට ගිහින් තිබ්බා මගේ අනුදැනුමකින් තොරව.

    ඊළගට පළමු වතාවේ මම සතොසින් වාහනය අරන් දුන්නට පෙබරවාරි මාසේ අග භාගයේ නැවත වතාවක් ඔහුම වාහනයක් ඉල්ලගෙන මුලතිව් ගිහින් තිබුණා. " යැයි සාක්ෂිකරු සඳහන් කළා.

    ඔය රථයේ අරාබි ජාතිකයෝ දෙදෙනෙක් කොහෙට හරි අරන් ගිහින් තියෙනවාදැයි රජයේ අධිනීතිඥවරයා මෙහිදි විමසීමක් කළා.

    ඔව් මම මේ ජනාධිපති කොමිසමේ විමර්ශන එකකයට ඇවිල්ලා ප්‍රකාශ දෙද්දි එහෙම දෙයක් ගැන දැනගත්තා යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    ඔය රථය ගමන් කළ යම් තැනකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් පැමිණිලා තියෙනවාදැයි රජයේ අධිනීතිඥවරයා විමසීමක් කළා.

    ඒ ගැන මම දන්නේ නැහැ යැයි සාක්ෂිකරු පැවසුවා.

    එහිී රජයේ අධිනීතිඥවරයා යළි විමසුවේ ඔබ දැනගෙන හිටියේ නැද්ද රාජකාරි වැඩවලට අමතරව වෙනත් ගමන් වල යන්න එවකට අමාත්‍යවරයා වු රිෂාඩ් බදියුදින් මහතා අස්ලාම්ට අවසර දිලා තිබුනා කියලා.

    නැහැ මම මේ සිදුවීම් වෙද්දි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.

    නමුත් පස්සේ මම ඒ පිළිබදව දැනගත්තා යැයි විශ්‍රාමික සමාන්‍යාධිකාරිවරයා පිළිතුරු දුන්නා.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි විමසීම සදහා කැදවා තිබුණේ මෙම ප්‍රශ්නගත සංචාර වලදි එම ඩබල් කැබ් රථය පදවන ලද රියදුරු වු නිමේෂ් භාෂිත මහතාවයි.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ, " ගිය අවුරුද්දේ ජනවාරි 31 වැනිදා මට ලැබි තිබුණ උපදෙස් පරිදි උදේ 05 ට විතර මම දෙහිවලින් අස්ලාම් කියන තැනැත්තාව වාහනයට නග්ග ගත්තා.

    කොහොම හරි දෙහිවල කව්ඩාන පාර ලගදි එක්කෙනෙකුත්, දෙහිවල පාලම ලගදි තවත් එක්කෙනෙකුත් වාහනයට නැග්ගා.

    මුලින් නැගපු කෙනා කෙට්ටුයි, උසයි මුහුණ පුරා රැවුලක් තිබ්බා.

    අනිත් කෙනා ටිකක් මිටියි.

    කොහොමහරි මේ තුන්දෙනා කතා කළේ දෙමළ භාෂාවෙන්.

    ඉස්සෙල්ලාම ගියේ පොතුවිල් සතොස වෙළදසැල ලගට මට එතන රැදෙන්න කියලා අර තුන්දෙනා මඩකලපුව පැත්තට පිටත් වෙලා ගියා.

    කළු මහත කෙනෙක් ඇවිත් හිටියා මගපෙන්වන්න.

    ඒ අය ගියේ දවල් 1 ට විතර ආයේ ආවේ 6.30 ට.

    ඒ එද්දි දෙහිවලින් නැගපු දෙදෙනා ආවෙව් නැහැ.

    අස්ලාම් වාහනයට නැගලා අර මගපෙන්වන්නාගේ නිවසට යමු කිව්වා සවස තේ බොන්න.

    පොතුවිල් සතොස වෙළදසැල ළඟ ඉදලා කිලෝමීටර් 3ක් වගේ ගියාම තමයි අර දෙහිවලින් ආපු දෙදෙනා වාහනයට නැග්ගේ. " යැයි මෙම සැකකටයුතු ගමන පිළිබදව රියදුරා කරුණු අනාවරණය කළා.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, " අස්ලාම් නැවත පෙබරවාරි 20න් පස්සේ දවසක මුලතිව් ගියා.

    ඒ ගිහින් තුන්වෙනි දවසේ උදේ මැදවච්චියේ මුස්ලීම් පල්ලියකට ගියා.

    සවස් වෙද්දි එතනට Land Cruiser V8 රථයකුයි කැබ් දෙකකුයි ආවා. " යනුවෙන්. කව්ද Land Cruiser V8 රථය එළෙව්වේ රජයේ අධිනීතිඥවරයා හරස් ප්‍රශ්නයක් යොමුකළා.

    " හරියට දන්නේ නැහැ.

    නමුත් V8 රථය එළවපු රියදුරුව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේදි දැකලා තිබුණා.

    ඒ රථයේ සුදු ලෝගු දාගත්තු අරාබි ජාතිකයෝ දෙදෙනෙක් හිටියා.

    තව අර ජනවාරි 31 ගමනට සහභාගි වුණ පුද්ගලයෙකුත් මැදවච්චියට ඇවිල්ලා තිබුණා. " යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ එවකට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදින් මහතා භාවිතා කළේ කුමන ආකාරයේ රථයක්ද යන්නයි. " ඇමතිතුමා භාවිතා කළේ කළුපාට Land Cruiser V8 රථයක්.

    මැදවච්චියේ මුස්ලීම් පල්ලියට ආපු රථයයි.

    ඇමතිතුමා භාවිතා කරපු රථයයි සමානයි වගේ " යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

    Latest News