පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට පියවර (වීඩියෝ)

නොවැ 15, 2020
  • ලෝක උරුම නගරයක් වන පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට රජය පියවර ගෙන තිබේ.

    මේ තීරණයට ඒළඹුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ජාවේදී.

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ආර්ථිකය ගොඩනැංවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය සංවිධාන කර තිබිණ.

    පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සඳහා දැනටමත් ඒ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ් යටතේ සංචාරක හෝටල් පාසලක් ද ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතයි.

    මාදුරුඔය, සෝමාවතිය හා වස්ගමුව වන සංරක්ෂිත ආශ්‍රිතව පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සාකච්ජාවේදී කියා සිටියේය.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 700ක වියදමින් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බවයි.

    දැනට අත්හිටුවා ඇති ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලබන ජනවාරි 01 සිට නැවත ආරම්භ කරන බවද, ඔහු ප්‍රකාශ කළේය. වී මිලදී ගැනිම තවදුරටත් විධිමත් කිරීම පිළිබඳව ද සාකච්ජා කෙරිණ.

    රොෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ, ඩී.බී. හේරත්, මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරු ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:08

    Latest News