කොවිඩ්-19; 765ක් සුවය ලබා පිටව යයි

නොවැ 05, 2020

    කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ 765 දෙනෙක් රෝහල්වලින් අද පිටව ගියේය.

    ඒ අනුව, පූර්ණ සුවය ලැබූ සමස්ත පිරිස 6623 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වසංගත තත්වය හමුවේ පැවති අපොස උසස් පෙළ විභාගය අද අවසන් විය.

    මෙරට ඊයේ PCR පරීක්‍ෂණ දස දහස් 655ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත PCR පරීක්‍ෂණ සංඛ්‍යාව පන් ලක්‍ෂ 46 දහස් 803ක්.

    සීතාවක අපනයන සැකසුම් කලාපයේ ස්ථාපනය කර ඇති සියලුම කර්මාන්ත ශාලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එහි අධ්‍යක්‍ෂ කේ.එච්.එම්. කුමාරපේලි මහතා පවසයි. කොවිඩ්-19 කිසිදු ආසාදිතයෙකු මේ දක්වා එම කලාපයෙන් හඳුනාගෙන නොමැති බව වාර්තාවේ.

    ආසාදිතයන් 5ක් වාර්තා වී ඇති බවට විකල්ප පුවත්පතක පළවූ පුවත අසත්‍යයක් වන අතර, එම කලාපයේ සේවය කරන 2678 දෙනෙකු PCR පරීක්‍ෂණවලට ලක්කර ඇති බව ඔහු සඳහන් කළේය.

    හැටන් දික්ඔය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගියෙකුගේ ආශ්‍රිතයන් 18ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ.

    හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයෙකු වන රත්නපුර ප්‍රදේශයේ කාන්තාවකට ද වෛරසය ආසාදනය වී තිබේ. ඇයගේ ආශ්‍රිතයින් 130ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ.

    මහනුවර මාරස්සන නගරයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් දෙදෙනාගේ සමීපතමයන්ගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. ඔවුන් මේ වනවිට ස්වයං නිරෝධායනයේ පසුවේ. අප වාර්තාකරු සඳහන් කළේ, නගරයේ තෝරාගත් ස්ථාන බිෂබීජානුහරණය කෙරුණු බවයි.

    හැටන් සහ මස්කෙළිය යන ප්‍රදේශවල කොවිඩ්-19 රෝගය වැළඳුණු තිදෙනෙකු කඹුරුපිටිය කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ඔවුන්ගේ ආශ්‍රිතයන් සිය දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයේ පසුවේ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් මසුන් රැගෙන ගොස් දෙහිවල සහ මොරටුව යන ප්‍රදේශවල අලෙවි කළ හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ද කොවිඩ්-19 වැළඳී තිබේ. ඔහු යොමු කෙරුණේ හම්බන්තොට රෝහලේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයටයි. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඔහුගේ ආශ්‍රිතයන් සොයා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

    මාවනැල්ල ප්‍රදේශයේ ඉකුත් දිනක පැවති මංගල උත්සවයකට සහභාගි වූ 9 දෙනෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි වාර්තාවේ. මනාල යුවල ද ඊට අයත්. එම උත්සවයට සහභාගි වූ 120 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී. කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙම මංගල උත්සවය සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූල නොවන අයුරින් පවත්වා ඇති බැවින් ඉදිරියේදී ඒ පිළිබඳ නෛතික පියවර ගන්නා බවයි.

    බේරුවල ධීවර වරාය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසකගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. ඊට සිය දෙනෙකු පමණ ඇතුළත්.

    හංවැල්ල වගවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් තිදෙනෙකුගේ ආශ්‍රිතයන් 126 දෙනෙකු ද PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සේවක-සේවිකාවන් 260 දෙනෙකුගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂා කෙරිණ. විෂබීජානුහරණයෙන් පසු ලබන සඳුදා සිට තොග වෙළෙඳාම් සඳහා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතයි.

    වවුනියාව පුන්තෝට්ටම් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. 132ක් ඊට අයත්. ඔවුන් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලු සේවා අද සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. එම තැපැල් හුවමාරුවේ සේවකයින් 2කට ‍කොවිඩ්-19 රෝගය වැළඳීම ඊට හේතුවයි.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ ක්‍ෂේත්‍ර රාජකාරි නිරත කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ්-19 ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් අද (05)ප්‍රදානය කෙරිණ. ඒ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන්ගේ අනුශාසනා පරිදි.

    උන්වහන්සේ සහ ව්‍යාපාරික වෝල්ටර් පෙරේරා මහතා මීට අනුග්‍රහය දැක්වූහ. ඇඳුම් කට්ටල තොගය රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල මහතා වෙත බාරදෙනු ලැබීය. ප්‍රවෘත්ති අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

    කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති හංවැල්ල වගවත්ත ප්‍ර දේශයේ ආසාදිත පවුල් සාමාජිකයින් 126 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ අද සිදු කෙරිණ.

    කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 92ක් අද නිරෝධායනය අවසන් කර පිටව ගියේය.

    පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ 149ක් පූර්ණ සුවය ලබා සිටී. ඔවුන් එම මධ්‍යස්ථානයෙන් අද පිටව ගියේය. එම පිරිස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතයින්. ඔවුන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත බාරදෙනු ලැබීය.

    අද පොලිස් නිලධාරින් 81කගේ PCR පරීක්‍ෂණ ද සිදු කෙරිණ. ඒ, කෑගල්ල ප්‍රදේශයේදී. මාවනැල්ලේ සිට කොළඹ පොලිස් මූලස්ථානය දක්වා පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කරන බස් රථවල ගමන්ගත් පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම මීට හේතුවයි.

    වැලිකඩ බන්ධනාගාරයේ, 8 කට කොවිඩ්-19 ආසාදනය වී තිබේ. ඒ කාන්තා රැඳවියන් තිදෙනෙකු හා බන්ධනාගාර නිලධාරියෙකුටයි. ඔවුන් වැලිකන්ද රෝහලට සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට වෙත යොමු කරනු ලැබ සිටී.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල වසා දමා දින 14කට පසු වෙළෙඳපොළ සහ ආසාදිත පිරිස් පරිහරණය කළ රථවාහන අද පූර්ණ විෂබීජානුහරණයට ලක් කෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශය ඒ සඳහා විශේෂිත වූ උපකරණ භාවිත කර තිබේ.

    කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට සිංගප්පූරුවේ “ටීම්සෙක්“ පදනමෙන් රුපියල් මිලියන 80ක් වටිනා ශ්වසන ආධාරක යන්ත්‍ර 50ක් පරිත්‍යාග කර තිබේ. එම භාණ්ඩ මෙඩිටෙක්නොලජි හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්‍ෂ කපිල ගීගනගේ මහතා විසින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද බාරදෙනු ලැබුවාය.

    Latest News