පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය තාවකාලිකව නැවැත්වේ

ඔක් 28, 2020

    කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති වතාවරණය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට කොමිසම ඊයේ තීරණය කළා.

    මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිතා කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ නිවස කුලියට ගෙන ඇත්තේ වර්ෂයක් සදහා රුපියල් හාරලක්ෂ අසුදහසක මුදලක් ලබාදීමෙන් බව ජනාධිපති කොමිසමේදි අනාවරණය වුණා.

    අදාළ ආරක්ෂක නිවස සම්බන්ධයෙන් ඊයේ දින ජනාධිපති කොමිසම කළ සාක්ෂි විමසීමේදි හෙළිදරව් වුණේ අදාළ නිවස කුලියට ගැනීමේ කටයුතු සිදුකර ඇත්තේ කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තා විසින් බවයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනට කරන ජනාධිපති කොමිසම ඊයේ දින සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිතා කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ කුළී නිවස පිළිබදවයි.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් එම කුළී නිවසේ හිමිකරු වන ඒ.එස්.එම්. ඉල්හාම් නැමැත්තා කියා සිටියේ තමා අදාළ නිවස කුළියට දීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීමක් පල කළ අතර ඒ අනුව කිසියම් පිරිසක් එම නිවස කුළියට ගැනීමට ඉදිරිපත් වූ බවයි.

    නිවස කුළියට ගැනීමට ඉදිරිපත් වූ තැනැත්තා තමන් පාවහන් වෙළදාමේ නිරත වන බවත් තමන් සහ මිතුරෙකුද, දරුවන් තිදෙනෙකු සහ බිරින්දෑවරුන්ද මෙම නිවසේ පදිංචිවීමට අපෙක්ෂා කරන බවත් සදහන් කළේ යැය සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා.

    ඒ අනුව ඉකුත් වසරේ පෙබරවාරි මස 13 වන දින නිත්‍යානුකූල ලෙස ගිවිසුම් අත්සන් කරමින් මසකට රුපියල් 40,000 බැගින් මාස 12 ක් සදහා රුපියල් හාරලක්ෂ අසුදහසක මුදලක් මුලික ගෙවීමක් ලෙස ලබාගනිමින් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාට නිවසේ යතුරු භාර දුන් බව අදාළ නිවසේ හිමිකරු කියා සිටියා.

    එහිදි රජයේ අධිනීතිඥවරයා විසින් ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපයක් සාක්ෂිකරුට පෙන්වමින් ඔබෙන් නිවස කුලියට ගත්තේ මොහුදැයි විමසු අතර සාක්ෂිකරු විසින් නිවස කුලියට ගැනීම සදහා ගිවිසුම් අත්සන් කළේ මෙම තැනැත්තා යැයි හදුනාගත්තා.

    කෙසේ වෙතත් නිවස කුළියට දීමෙන් මසකට පසු ඉකුත් වසරේ මාර්තු මාසයේ පමණ අවස්ථා දෙකකදි තමන් මෙම නිවස නිරීක්ෂණය සදහා ගිය අතර එහිදි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නිවසේ රැදී නොසිටි අතර ඔහු සමග නිවස කුළියට ගැනීමේ ගිවිසුමේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළ රිස්කාන් නැමැත්තා පමණක් දෙවියන් යදිම්න් සහ විවේකිව නිවසේ රැදී සිටි බව සාක්ෂිකරු අනාවරණය කළා.

    මෙවැනි වාතාවරණයක් තුළ ප්‍රහාර මාලාව එල්ල වූ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පස්වරු හතරට පමණ ප්‍රදේශයේ වෙළදසැලක් අසළ සිටි තමන් වෙත පැමිණි මුස්ලීම් තරුණයෙකු " ඉල්හාම් හමුදාවෙන් උඹේ ගේ වට කරලා. දුවපං දුවපං කොහෙට හරි " යැයි පැවසු බව නිවසේ හිමිකරු සාක්ෂිදෙමින් කියා සිටියා.

    කෙසේ වෙතත් තමන් කිසිදු වරදක් සිදුකර නොතිබුණු බැවින් එම අවස්ථාවේදිම කුළී නිවස වෙත ගොස් එහි සිටි නිලධාරින්ට කුළී නිවසේ හිමිකරු තමන් යැයි පවසු බවත් පසුව සිය පෞද්ගලික නීතිඥවරයා හමුවී නිවස කුළියට දීමට අදාළ නෛතික ලේඛන අදාළ නිලධාරින්ට පෙන්වා දුන් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා.

    ඉන් අනතුරුව ත්‍රස්තවාදින් විසින් පවත්වාගෙන ගිය පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ පිහිටි මෙම ආරක්ෂක නිවස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනි කුමාර දිසානායක නිලධාරිනියගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසනු ලැබුවා.

    එහිදි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඇය කියා සිටියේ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි මෝටර් රථය පිළිබද සිදුකළ සොයාබැලීම් වලදි විශේෂ කාර්යය බලකායේ අවධානය මෙම ආරක්ෂක නිවස කෙරෙහි යොමු වී තිබු බවයි.

    පසුව ප්‍රහාරයට පසුදින තමන් " නස්මියා විලා " 61/2 ශෙරිෆ් මාවත, පරත්ත පාර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදින් විසින් ආරක්ෂක නිවසක් ලෙස පවත්වාගෙන යනු ලැබු මෙම නිවස වෙත ගොස් වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ කියා සිටියා.

    ඇය වැඩිදුරටත් කියා සිටියේ එම නිවස සෝදිසි කිරීමේදි එහි තිබි බයිසිකල් බෝල ඇතුළත් පෙට්ටි කිහිපයක්, බැටරි සහ බැටරි පෙට්ටි කිහිපයක්, පරිපථ සටහන් කිහිපයක්, බිචීන් පවුඩර් යැයි සදහන් කළ විශාල බුලියක් සහ මල්ටි පෝන් යැයි සදහන් කළ ඇලුමිනියම් බුලියක්ද හමුවූ බවයි.

    එසේම එම නිවසේ තිබු හමුවූ සහතික පත් අතර මොහොමඩ් මිල්හාන්ගේ නම සදහන් වූ ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ සහතික පතක්ද වන බව සාක්ෂිකාරිය සදහන් කළා.

    මේ අතර එම නිවසේ තිබී හමුවූ බිල්පත් කිහිපයක් ඔස්සේ සිදුකළ ඉදිරි විමර්ශන වලදි ස්වයං ඝාතක බෝම්බකරුවන් ප්‍රහාරයට පෙර ආගිය ස්ථාන රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශකයින්ට හැකිවූ බව සාක්ෂිකාරිය සදහන් කළා.

    ඒ අනුව එහි තිබු එක බිල්පතක් 2019 අප්‍රේල් මස 10 වන දින ගොරකාන කීල්ස් සුපර් වෙළද සංකිර්ණයෙන් භාණ්ඩ මිලදි ගැනීමකට අදාළ වන අතර එම දිනයේ ස්වයං ඝාතක බෝම්බකරුවන් දෙදෙනෙකු එම වෙළද සංකිර්ණයට ඇතුල්වන ආකාරය ආරක්ෂක කැමරා වල මෙලෙස සටහන්ව තිබෙනවා.

    අදාළ දිනයේ ප.ව 8.17 ට පමණ මෙලෙස වෙළද සංකීර්ණයට ඇතුළුවන්නේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් සහ කිංස්බරි හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තායි.

    එසේම පරත්ත පාරේ ආරක්ෂක නිවසේ තිබී හමුවූ තවත් බිල්පතක් බත්තරමුල්ල Decathlon වෙළදසැල වන බව සාක්ෂිකාරිය සදහන් කළා.

    ඇය වැඩිදුරටත් කියා සිටියේ හස්තුන් සහ මුබාරක් නැමැති ස්වයං ඝාතක බෝම්බකරුවන් දෙදෙනා ඉකුත් වසරේ අප්‍රේල් මස 11 දින බත්තරමුල්ල Decathlon වෙළදසැල වෙත ගොස් ලීටර් 50 ප්‍රමාණයේ Back Pack 10 ක් මිලදීගෙන ඇති බවයි.

    කිංස්බරි හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තා Decathlon ආයතනයේ Loyalty Customer කෙනෙක් වන බවත්, ඔවුන් විසින් කැප්, බෝල, පාවහන්, අව්කණ්නාඩි, ටී - ශර්ට් ඇතුළු රුපියල් 76,650 ක වටිනාකමකින් යුතු භාණ්ඩ අයිතම 36 ක් මිලදී ගෙන ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

    එසේම පරත්ත පාර ආරක්ෂක නිවසේ තිබි හමුවූ තවත් බිල්පතකට අනුව හස්තුන් සහ මුබාරක් නැමැති ස්වයං ඝාතක බෝම්බකරුවන් ඉකුත් වසරේ අප්‍රේල් මස 18 වන දින ග්‍රාන්ඩ්පාස් ප්‍රදේශයේ මුස්ලීම් ජාතිකයන් භාවිතයට ගන්නා භාණ්ඩ පමණක් අලෙවිකරන නිව් ලුක් අල්හර්මේනියන් නැමැති වෙළද සැලට පැමිණ තිබෙනවා.

    ස්වයං ඝාතක බෝම්බකරුවන් දෙදෙනා එදින ප.ව 02:09 ට පමණ එම වෙළද සැලට ඇතුළුවන ආකාරය එහි ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව ඇති අතර ඔවුන් දෙදෙනා එම වෙළද සැලෙන් රූමල් අම්ජාඩ් නමින් හදුන්වන මුස්ලීම් ජාතික පිරිමි පුද්ගලයින් පළදින ශෝල් පළදනාවන් 08 ක් මිලදීගෙන ගනු ලබනවා.

    හස්තුන් සහ මුබාරක් විසින් මෙසේ මිලදී ගන්නා රූමල් අම්ජාඩ් නැමැති පළදනාවන් පාස්කු ප්‍රහාරයට පෙර දින ගල්කිස්ස ස්පෑන්ටවර්ස් මහල් නිවාස සංකීර්ණයේ ත්‍රස්තවාදින් විසින් කරන ලද විඩියෝ පටිගත කිරීමේදි ඔවුන් තම හිස සහ මුහුණ වැසීමට භාවිතා කර ඇති බව දක්නට ලැබෙනවා.

    මේ අතර පරත්ත පාර ආරක්ෂක නිවස අසල තිබු නිවෙස්හි ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඉකුත් වසරේ අප්‍රේල් 20 දින මෙම නිවසේ තිබු බඩු භාහිරාදිය රැගත් කුළි ලොරි රථයක් නිවසින් පිටත්ව බෝම්බ ප්‍රහාර සිදුවු අප්‍රේල් 21 වන දින පෙරවරුවේ සයින්දමර්දුහි ත්‍රස්තවාදින්ගේ සමීපතමයින් රැදී සිටි නිවසට සහ සමන්තුරේ නිවසට ගොස් බඩු භාහිරාදිය ගොඩ බා ඇති බවයි.

    එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ස්වයං ඝාතක බෝම්බකරුවන් ප්‍රහාර සදහා පිටත්ව ඇත්තේද පරත්ත පාරේ පිහිටි මෙම නිවසේ සිට බව විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව ශ්‍රැන්ග්‍රීලා හෝටලයේ බෝම්බ පුපුරුවාගත් සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් අප්‍රේල් 20 වන දින ප.ව 7.13 ට පමණ පරත්ත පාරේ ආරක්ෂක නිවසින් පිටත්ව ප.ව 19.57 ට පමණ ශ්‍රැන්ග්‍රීලා හෝටලය වෙත ළගා වී තිබෙනවා.

    එසේම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරක මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ කිංස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරක මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් අප්‍රේල් මස 20 දින ප.ව 8.12ට පරන්ත පාර නිවසින් පිටත්ව තම ඉලක්ක වූ හෝටල් වෙත ළගා වී ඇති බවද විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

    මේ අතර කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති වතාවරණය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට කොමිසම ඊයේ තීරණය කළා.

    Latest News