(UPDATE) පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණ වැසේ - 49 කට කොරෝනා

ඔක් 21, 2020

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    ඒ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 37 කි.

    ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 143 ක් වේ.

    ඒ අනුව මිනුවන්ගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අතරට විදේශයන්හි සිටි පැමිණි සංඛ්‍යාව 6 කි.

    වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2341 ක් වේ.

    ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා ඇත.

    ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු කොළඹ නාගරික සීමාවෙන් හමු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි.

    එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඒ අතර, පොලිස් නිලධාරියෙකු ද වන බවය.

    ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බව ඇය සඳහන් කළාය.

    මේ අතර, කොරෝනා රෝගීන් සීඝ්‍රයෙන් වාර්තාවීම හේතුවෙන් හුදකලා කර ඇති මතුගම, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගල, බදුගම හා බදුගම නව ජනපදය යන ප්‍රදේශ ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

    කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ, තවත් පී.සී.ආර් පරීක්ෂණ 200 ක පමණ ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි.

     

     

    පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනාගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම්දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

    එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හෙළිවී තිබේ.

     

     

    මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    එලෙස හඳුනාගැනුණු ආසාදිතයින් අතරින් 37 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා.

    අනෙක් ආසාදිතයින් 143 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවයි, යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

    කොවිඩ් - 19 අධි අවදානම් කලාපවල පදිංචි සිය සේවක සේවිකාවන් කිහිපදෙනකුටම නව කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි, එම්ඒඑස් (මාස්) හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම පුද්ගලයන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල අයට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත් ඔවුන්ට හැකි ඉක්මනින් නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් සැපයීමටත් සමාගම මේ වනවිට පියවර ගෙන ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

    අපගේ සේවක සේවිකාවන් හා සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා, රජය හා සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී, සිය කර්මාන්තශාලා හා පරිශ්‍ර තුළ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කර ඇතැයි ද එහි සඳහන් වේ.

     

    කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හදුනාගත් බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව්තටාංගන ආයතනයේ සේවකයාගේ පවුලේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

    මෙම ආශ්‍රිතයාගේ පවුලේ 09 දෙනෙකු ඊයේ (20) දින පි.සි.ආර්. පරීක්ෂණ වලට යොමු කළ බවත් අද දින ලැබුණු පි.සි.ආර්. පරීක්ෂණ වාර්තා අනුව, ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බවයි, ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ පළමුවරට ආසාදිතයකුගෙන් ආශ්‍රිතකයෙකුට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

     

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස අද (21) හඳුනාගැනීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථානය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.

    ආසාධිත ව්‍යාපාරිකයා අසනීප තත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර මහරෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී කොරෝනා ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇතැයි, ජගත් කුමාර මහතා සඳහන් කළේය.

    ඒ අනුව, මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ පිරිස එම නිවසේදීම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් ව්‍යාපාරික ස්ථානය හා සම්බන්ධ ආශ්‍රිතයින් ඔවුන් පදිංචි ස්ථානවලම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් කටයුතු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ද විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අද සවස සිට යළි වෙළඳාම් කටයතු සදහා විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

    ආසාදිත ව්‍යාපාරිකයාට අයත් වෙළඳ මධ්‍යස්ථානය වසාදමා විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

     

     

    වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙකක් හමුවෙයි.

    මෙම රෝගීන් හමුවීමත් සමගම වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ මෙයින් 78 දෙනකු නිවෙස් තුළම ස්වයං නිරෝධායනය ට ලක්කර තිබෙනවා.

    කොරෝනා රෝගීන් බවට හඳුනාගත් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ දෙදෙනෙකු බවත් වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසුවා.

    මෙම ප්‍රදේශයේ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන බවත් හමුවී ඇති රෝගීන් දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිත ඉන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියාසිටී.

     

     

    කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

    කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා පවසා සිටියේ, ඊයේ (20) රාත්‍රී 7.30ට පමණ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවු බවයි.

    “රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග තමයි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තේ. අද අපි මේ ප්‍රදේශයේ පළවෙනි ආශ්‍රිතයින් 200කට ආසන්න ප්‍රමාණයක පීසීආර් පරීක්ෂණ සිදුකරනවා.“ එකම පවුලේ තිදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, මාළු වෙළෙන්දෙක්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ අතර වන බව පැවසීය.

     

     

    වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයා ගමන් කළ බව කියන කොට්ටාව මාලු වෙළඳසැලේ සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (21) වාර්තා වූ බව කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.තිලකසිරි මහතා පවසයි.

    ඒ අනුව කොට්ටාව මාලු වෙළෙඳසැල සහ තෙමහල් සේවක නේවාසිකාගාරයට මුද්‍රා තබා ආශ්‍රිතයින් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව එම කාර්යාලය පවසයි.

    වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට ඉකුත් 18 දා හඳුනාගැනීමත් සමඟ ඉන් එක් ආසාදිතයකු ගමන් කළ බව කියන කොට්ටාවේ සමුපකාර වෙළඳසැලක් සහ මාළු වෙළඳසැළ මෙලෙස වසාදැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගැණින.

    පසුව මෙම මාළු වෙළඳසැලෙහි සේවය කළ සේවකයින් 17 දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඉකුත් 19 දා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී සේවකයන් සිව් දෙනෙකුට මෙසේ ආසාදනයවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළාධාරීන් පවසයි.

    ඒ අනුව ආසාදනයට ලක්වූ කොට්ටාව තෙමහල් ගොඩනැගිල්ලක රැඳී සිටි (42,47) පුද්ගලයින් දෙදෙනකු, පන්නිපිටිය, දෙපානම පදිංචි (58) පුද්ගලයකු සහ බොරලැස්ගමුව, නීලම්මහර ප්‍රදේශය පදිංචි (43) පුද්ගලයකු ඇතුළු සිව්දෙනා කළුතර පිඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසයි.

    මෙම පුද්ගලයින් සිව්දෙනාට කොරෝනා රෝගය ආසාදනය වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් ද නැතහොත් වැල්ලවත්ත කොරෝනා ආසාදිතයා ගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා තවදුරටත් විමර්ශන විමර්ශන ක්‍රියාත්මක බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

     

     

    කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

    පසුගිය 15 වැනි දින එම සේවකයා රාජකාරියට පැමිණිමේදී උණ රෝගී තත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත.

    අදාළ සේවකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, වෛරසය ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසුව ඔහු කොස්ගම පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

    එම සේවකයාව සමීපයෙන් ආශ්‍රය කල තවත් රෝහල් සේවකයින් 16 කට පමණ PCR පරීක්ෂණ සිදුකර ඇත.

    කෙසේවෙතත්, රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

    Last modified on බදාදා, 21 ඔක්තෝබර් 2020 14:03

    Latest News