දූෂණ විරෝධී ලේ. කාර්. සාමාජිකයෙකු ලෙස පත් කිරීම ගැන තමා දැනුවත් නැහැ; පා.ම. අනුර කුමාර

ඔක් 20, 2020

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව පිහිට වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු ලෙස තමාව පත් කිරීම සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා.

    ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

    ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් කළ පැමිණිලිවලට අදාළව අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.

    ඔහු සඳහන් කළේ, 2015 ජනවාරි 21 වැනිදා දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි .

    "දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ඔබගේ නම සදහන් වෙනවා." දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසුවා.

    "කිසිම දැනුම් දැනුම් දීමක් කර නැහැ. හිටපු අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව දැනුම් දිය යුතුයි. නමුත් කිසිම ආකාරයකින් මට ඒ පිළිබඳව ලිඛිතව හෝ වාචිකව දැනුම් දීමක් කර නැහැ" අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු දුන්නා.

    දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යලි විමසුවේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිට වූයේද යන්නයි.

    "ජාතික විධායක සභාවේ මේ ගැන කිසිම සාකච්ඡාවක් කළේ නැහැ .මෙවැනි ආයතනයක් පිහිටුවීම ගැන කිසිම ආකාරයේ සාකච්ඡාවක් සිදුවුණේ හෝ කැබිනට් පත්‍රිකාවක් ආවේ නැහැ." අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

    දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු වන බැවින් දූෂණ වංචා පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු විමසා තිබෙනවා නේද යනුවෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දිසානායක මහතාගෙන් විමසුවා.

    වංචා, දූෂණ මෙන්ම අපරාධ කරුවන්ට දඬුවම් නොදීම සම්බන්ධයෙන් තමා 2015 පෙර සිටම හඬක් නැගූ බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

    ඔහු වැඩි දුරටත් පැවසුවේ "මේ කැබිනට් පත්‍රිකාව මම දැක නැහැ මේ පත් කිරීම ගැන මම දැනුවත් නැහැ මෙහෙම පත්වීමේ ලිපියක් මා වෙත ලබාදීලත් නැහැ ඒ නිසා මම මේ කමිටුවේ සාමාජිකයෙකු නෙවෙයි" යනුවෙන්.

    අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් පත් කෙරුවේ වංචා දූෂණ සෙවීම සඳහායි. ඒ තුළින් පත්කළ ආයතන ඇති කරන ලද්දේ වංචා දූෂණ වලට සම්බන්ධ වූවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා යි. එහෙත් වංචා දූෂණවලට සම්බන්ධ නඩු වලට පෙනී සිටි පුද්ගලයින් ද දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කළා"

    තමා රනිල් වික්‍රමසිංහ මහතා මුලසුන ගත් සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වී ඇතත් එම සාකච්ඡා දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සාකච්ඡා දැයි තමන් නොදන්නා බව දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අරලියගහ මන්දිරයේ පවත්වන ලද දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් කිහිපයකට අදාළ ලේඛන කීපයක් අනුර කුමාර දිසානායක මහතාට පෙන්වා සිටි වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා සඳහන් කළේ අදාල රැස්වීම් සඳහා අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ බවට සාක්ෂි ඇති බවයි.

    2015 32 ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමක් සහ 2015 /2/16, 2015/2/23, 2015/2/9, 2015/2/5 යන දිනවල අරලියගහ මන්දිරයේ දී දූෂණ විරෝධී කමිටු රැස්වීම් කිහිපයක් පවත්වා ඇති බව ද නීතිඥවරයා කොමිසම හමුවේ කියා සිටියා. ඔහු සඳහන් කළේ ඉන් ඇතැම් රැස්වීම්වල අනුර කුමාර දිසානායක මහතාගේ නම සහ අත්සන පැමිණීම සටහන් කෙරෙන ලේඛනවල දක්නට ලැබෙන බවයි. තවත් ලේඛනයක අත්අකුරින් ලියන ලද ඔහුගේ නමත් දුරකථන අංකයත් ඔහු පැමිණි බව සනාථ කරමින් හරි ලකුණක් යොදා ඇති බව ද නීතිඥවරයා දැනුම් දුන්නා.

    2015/2/16 වැනි දින එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරලියගහ මන්දිරයේ පැවැති දූෂණ විරෝධී කමිටු රැස්වීමකදී දූෂණ මර්දන කමිටුවල කටයුතු ආරම්භ කරන දිනය, ස්ථාපනය කෙරෙන ස්ථානය, එහි අධ්‍යක්ෂවරයා, මහජන පැමිණිලි භාර ගැනීම, නව පොලිස් ඒකකයක් පිහිටුවීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බවද අදාළ ලේඛන වල කරුණු ගෙන හැර දක්වමින් නීතිඥවරයා කොමිසම හමුවේ කියා සිටියා.

    පැමිණිල්ලේ නීතීඥවරයා මෙහිදී අවධාරණයෙන් කියා සිටියේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම, එය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීම, ඒ සඳහා ගොඩනැගිලි ලබා ගැනීම හා එහි ව්‍යුහය සකස් කිරීම ආදී සියලු කරුණු වලට අනුර කුමාර දිසානායක මහතා සහභාගි වී ඇති බව අදාල ලේඛන මගින් තහවුරු වන බවයි.

    අනුර කුමාර දිසානායක මහතා එය ප්‍රතික්ෂේප කළ අතර තමා සහභාගි වූයේ ජනාධිපති කාර්යාලයේ පැවති විධායක සභාවේ රැස්වීමකට පමණක් බවත් අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම් කිහිපයකට සහභාගි වුවද ඒවා අදාළ කැබිනට් සන්දේශයෙන් පත් කරන ලද දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් බව තමා නොදන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යවරයෙක් ලෙස සිටි සමයේදී ආනන්ද විජේපාල මහතා ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවාද යැයි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විමසූ අතර ඒ බව අනුර කුමාර දිසානායක මහතා පිළිගත්තා.

    ආනන්ද විජේපාල මහතා දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ වරයා බව ඔබ දැන සිටියේ නැද්දැයි සභාපති විනිසුරු ප්‍රශ්න කළා. දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක වරයා වශයෙන් ඔහු ක්‍රියා කළ බව තමා දැන සිටි බවයි දිසානායක මහතා සඳහන් කළේ. එවිට සභාපති විනිසුරු නැවත ප්‍රශ්න කර සිටියේ විජේපාල මහතා ව ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් දූෂණ විරෝධී කමිටුවට පත් කිරීමට දිසානායක මහතා සමඟ ඔහුගේ තිබූ සම්බන්ධය හේතුවක් වන්නට ඇතිද යන්නයි.

    ඒ පිළිබඳව තමාට අවබෝධයක් නැති බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

    සභාපති විනිසුරුවරයා නැවත විමසා සිටියේ ආනන්ද විජේපාල මහතා 2020 මහ මැතිවරණයේදී ඔබේ පක්ෂයෙන් තරග කළා නේද යනුවෙන්.

    ඊට පිළිතුරු දෙමින් දිසානායක මහතා තමා නියෝජනය කළ ජාතික ජන බලවේගය ආනන්ද විජයපාල මහතා මහ මැතිවරණයට තරඟ වැදුණු බව ප්‍රකාශ කළා.

    Latest News