“පොඩි ලැසී“ දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

ඔක් 15, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක සිල්වා නොහොත් පොඩි ලැසී නැමැත්තා දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නේය.

    ඒ අනුව සැකකරු අද පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම අවසරය ලබාදුන්නේය.

    පොඩි ලැසී නැමැත්තා සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට ද නියෝගයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්වරයාට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ, දෙවැනි සැකකරු ලෙසයි, පොඩි ලැසී නම් කර තිබෙන්නේ.

    බූස්ස බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නිලධාරීන්ට අදාළ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකර තිබිණ. ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී අදාළ පැමිණිල්ල විභාගයට ගැණින.

    Latest News