පරිසර හානි දැනුම්දීමට ඝෘජු දුරකථන සේවාවක් - අමාත්‍ය මහින්ද අමරවීර

ඔක් 15, 2020

    මෑත කාලය තුළ පාරිසරික හානි කිරීම් වැඩිපුර වාර්තා වෙතැයි ජනමාධ්‍ය ඔස්සසේ පළ වන ප්‍රවෘත්ති වාර්තා සැළකිල්ලට ගනිමින් කිසියම් ස්ථානයක පාරිසරික හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව වහාම තමන් මෙන්ම පරිසර අමාත්‍යාංශය දැනුම්වත් කිරීම සඳහා ඝෘජු දුරකථන අංක 03ක් හා ජංගම දුරකථනය අංකයක් හඳුන්වාදීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (15) ප්‍රකාශ කළේය.

    පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ 1991, මධ්‍යම පරිසර අධිකාරියේ 1981, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 1921 දුරකථන අංකත්, අමාත්‍යවරයාගේ පුද්ගලික දුරකථනය වන 0707- 555 666 දුරකතන අංකයට වට්ස්අප් පණවිඩයක්, කෙටි පණිවිඩයක් හෝ විඩියෝ හෝ එවන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය තුළ පරිසර හානිවීම් ලෙස හුවා දක්වමින් පළ වන තොරතුරු බහුතරයක කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ඇතැම් ගොවින් විසින් වසර ගණනාවක් වගා නොකර අත්හැර දමා ඇති අක්කර 10 - 15 තරම් විශාල පුද්ගලික ඉඩම් වගාව සඳහා සුද්ද කරන විට ඒවා ද වන විනාශයන් ලෙස සඳහන් කරමින් පළ කරන අවස්ථා ද තමන් නිරීක්ෂණය කළ බව ඇමැතිවරයා කියා සිටියේය.

    කෙසේ වුවද යම් අයෙක් පරිසර හානියක් සිදු කරන්නේ නම් ඊට එරෙහිව තමන් මෙන්ම රජයද ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පරිසර හානි කරන්නන්ට එරෙහිව දැනට ඇති දඩුවම් වැඩි කිරීම සඳහා පරිසර පනත කඩිනමින් සංශෝධනයට ලක් කරන ලෙස ඉල්ලා නීතිපති තුමන් වෙත ඉල්ලීමක් කර ඇති බවද කීය.

    සැබැවින්ම සිදු කරන ලද පරිසර හානි කිරීම් පහක් (05) වාර්තා වී තිබු අතර ඒ සියලු දෙනාට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    එමෙන්ම 2020 මහ කන්නය මෙරට වගා ඉතිහාසයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් වගා කරන වර්ෂය ලෙස සනිටුහන් වන අතර මෙරට නිපදවිය හැකි එහෙත් දැනට පිටරටින් ආනයනය කරන සියලුම භෝග මෙරට වගා කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් දුන් උපදෙස් අනුව එම වගා කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේ වගාවට යොදා ගන්නා ඉඩම් ද වන විනාශයන් ලෙස හුවා දක්වන ලද අවස්ථා ඇති අතර විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය හමුවල දී පරිසර විනාශයන් ලෙස පෙන්වන කරුණු හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත්, පරිසර හානි ලෙස සඳහන් කරමින් රජයට අපහාස කිරීම් වැඩපිලිවෙළක් විපක්ෂය විසින් ගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News