අමාත්‍ය මහින්දානන්දට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක් අද විභාගයට

ඔක් 15, 2020

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් ණය මුදලක් වශයෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබාදී තිබු බවත් එම වෘත්තිය සමිතිය විසින් අදාළ මුදල ඔහු වෙත ලබා දී තිබුනේ විධිමත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම වෘත්තීය සමිතියේ සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා ගොනුකර නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ යළි විභාගයට ගන්නා ලදී.

    එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා හරස් ප්‍රශ්න උඹලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

    එහිදී ජනාධිපති නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකරු විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු මෙම නඩුවට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමාද විමර්ශනයක් සිදුකළ බව පැවැසුවා.

    මෙහිදී ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් මතු කරමින් මෙම විමර්ශනවලදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව විමර්ශනයක් සිදු කළේ දැයි ප්‍රශ්න කළා.

    තමා විත්තිකරුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු පිළිගත්තා.

    තවත් හරස් ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා මෙම විත්තිකරුගේ පියාට අයත්ව තිබූ රත්නපුරයේ පිහිටි ඉඩම් අක්කර 92 ක් මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර 44 ක් සහ තේ කර්මාන්ත ශාලාවක් යනාදිය වර්තමානයේ විත්තිකරුට අයත්ව තිබෙන අතර ඒවා තුළින් විත්තිකරුට ලැබුණු ආදායම් පිළිබඳවද මෙම විමර්ශනය තුළින් සොයා බැලුවේ දැයි ප්‍රශ්න කළා.

    ඊටද සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කළේ තමා එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් නොකළ බවයි.

    විත්තිකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන්නේ නම් ඔහුට අයත් දේපල පිළිබඳව ද විමර්ශනය කිරීම ඉතාම අත්‍යවශ්‍ය නොවේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියා.

    ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම කරුණු පිළිබඳව තමා විසින් විමර්ශනය නොකළ බවයි.

    මෙම නඩුවේ දී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන රුපියල් ලක්ෂ 39 ක මුදල අදාල වෘත්තීය සමිතියේ මහා සභාව විසින් නීත්‍යානුකූල අන්දමින් විත්තිකරු වෙත ණය මුදලක් වශයෙන් ලබාදී තිබූ බව විමර්ශනවලින් හෙළි වූයේ දැයි විත්තියේ ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කලා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ මුදල ණය මුදලක් වශයෙන් විත්තිකරු වෙත ලබාදී තිබු බව විමර්ශනවල දී හෙළි වූ බවයි.

    මෙම අවස්ථාවේ දී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙම නඩුවට පාදක වන රුපියල් ලක්ෂ 39 ක මුදල විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අදාළ වෘත්තීය සමිති විසින් ලබාදී තිබුණේ විධිමත් ආකාරයකට බව සඳහන් කළා.

    තවදුරටත් විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකරු ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම වෘත්තියේ සමිති කිසිදු සාමාජිකයෙක් මේ දක්වා පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කලා.

    ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු වන වසන්ත සමරසිංහ මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කළ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

    විත්තිකරු විසින් කොළඹ කින්සි පාරේ රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකළා නොවේ දැයි මෙහිදී විත්තියේ නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටියා.

    ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සහ ණය මුදලක් ලබාගෙන අමාත්‍යවරයා විසින් එම රුපියල් මිලියන 27 ක් වැය කර එම නිවස ලබාගත් බවට ජාලිය ගුණසේකර නමැත්තා ලබා දුන් කට උත්තරය මගින් සඳහන් කර තිබූ බව ද අධිකරණය හමුවේ පිළිගත්තා.

    මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වීමෙන් පසුව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මීළඟ නඩු දිනයේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

    පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන්වීමෙන් පසුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ තමා ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 5 වනදා තෙක් කල් තැබුණා.

    Latest News