“චූන් කුරුල්ලා’’ පොලිස් අත්අඩංගුවට

සැප් 29, 2020

    දිවයින පුරා ගෙවල් බිඳුම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති “චූන් කුරුල්ලා’’ නම් වූ කොල්ලකරුවාව හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු කලක් යුද හමුදාවේ සේවය කර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

    උදේ සහ දිවා ආහාරය සඳහා පලතුරු පමණක් ආහාරයට ගැනීම හේතුවෙන් ඔහුට “චූන් කුරුල්ලා’’ යන නාමය පට බැඳී ඇති බව විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් සඳහන් කරයි.

    හලාවත, කටාන, මීගමුව, නාත්තන්ඩිය, දංකොටුව, මාරවිල, වාරියපොළ, කුලියාපිටිය, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම් සිදුකර ඇති බව විමර්ශන වලදී හෙළිව තිබේ.

    සැකකරු වැඩි වශයෙන්ම කොල්ලකෑම් සඳහා යොදාගෙන ඇත්තේ, බෙදුම් ඉඩම්වල පිහිටි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තීයවේදීන්ගේ සහ විදෙස් ගත වී සිටින අයවළුන්ගේ නිවෙස්වීම විශේෂත්වයකි.

    පසුගිය දිනක සැකකරු විසින් කටාන ප්‍රදේශයේ පිහිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට අයත් නිවසක්ද බිඳ ඇති බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීහු සඳහන් කරති.

    Latest News