ගස් නොකපා වෙනත් ස්ථානයක රෝපණයට පියවර

සැප් 29, 2020

    ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වලදී ඊට හසුවන ගස් කපා ඉවත් නොකර ඒවා සුරක්ෂිතව යළි රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

    ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉකුත් දා පරිසර අමාත්‍යාංශයේ දී භූවිද්‍යා හා පතල් කර්මාන්ත කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

    වත්මන් රජය විසින් ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙතෙක් සංවර්ධනය නොවු ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම හා වැව් 5000ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දී ගස් විශාල ප්‍රමාණයක් විනාශ වීමට ඉඩ ඇති බව පැවසු ඇමතිවරයා, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංවර්ධනයේ දී කිලෝමීටරයට ගස් දෙකක් කපා දැම්මත් අඩු තරමින් ගස් ලක්ෂ දෙකක් විනාශ වනු ඇතැයි කීය.

    එම ගස්වලට හානියක් නොවන පරිදි ඒවා උගුල්ලා ඊට ආසන්න ස්ථානයක නැවත රෝපණය කිරීම තම අරමුණ බව පරිසර ඇමතිවරයා පැවසීය.

    Latest News