නොමිලයේ දත් සවි කිරීමේ විශේෂ වැඩසටහනක්

සැප් 29, 2020

    දත් ගැලවී ඇති පුද්ගලයන්ට නොමිලේ දත් සවි කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

    මේ වනවිට වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් සියයට 20ට වැඩි ප්‍රමාණයකගේ මුඛයේ එක් දතක් හෝ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

    මේ වනවිට දත් දැමීමේ වැඩපිළිවෙළක් රජයේ රෝහල් සතුව නොමැති නිසා දත් නොමැති පුද්ගලයන්ට පෞද්ගලික අංශයෙන් දත් දමා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

    මේ නිසා නොමිලේ දත් දැමීමේ යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ සඳහන් කළේය.

    සාමාන්‍ය පුද්ගලයකුගේ ස්ථිර දත් ඔහු මියයන තෙක්ම නිරෝගීව පැවතිය යුතු වුවද එවැනි තත්ත්වයක් අපගේ ජනතාව තුළ නොමැත්තේ ඔවුන් දත් නිසි පරිදි රැකබලා නොගන්නා බැවින් යැයිද හෙතෙම පැවසීය.

    කෙසේ නමුත් මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ගණනාවක්ම ඉදිරියේදී පවත්වන බවත්, එම දැනුවත් කිරීම් වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන බවත් වෛද්‍ය වික්‍රමසිංහ පැවසීය.

    Latest News