නාකොටික් 13දෙනා යළි රිමාන්ඩ්

සැප් 14, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් දහතුන් දෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    මෙම නඩු කටයුත්ත විමසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද දින රාජකාරී නිවාඩු ලබා සිටීම හේතුවෙන් එය කැඳවන ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරිපිටයි.

    අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

    ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දැනට සිදු කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කළේය.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කර සිටින දැනට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් වන උදාර සම්පත් නමැත්තා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියා.

    එම සැකකරු මෙරට සන්නිවේදන ආයතනයකින් (communication centre) ලබාගත් ජංගම දුරකථන සිම්කාඩ් 55 ක් උපයෝගී කරගනිමින් විශාල සන්නිවේදන ජාලයක් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

    දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම සැකකරුවන් දහ තුන් දෙනාට අමතරව තවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 12 දෙනෙක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද රජයේ නියෝජ සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

    දැනට රැදවුම්භාරයේ පසුවන පොලිස් පරීක්ෂකවරයෙක් වන ඩබ්ලිව්. කේ. සමන් වසන්ත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරන්නේ දැයි අධිකරනයෙන් විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ ඔහු මෙම අවස්ථාවේ මෙම නඩුකරයේ සැකකරුවක් ලෙස නම් කර නොමැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි.

    මෙම විමර්ශනයට අදාළව පිස්තෝලයක් නීතිවිරෝධී ලෙස තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිටින බවයි ඔහු දන්වා සිටියේය.

    දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 13 දෙනාට ඇප ලබාදීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් පවතින බව දක්වමින් විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා ලබන බ්‍රහස්පතින්දා තෙක් කල් ලබා දෙන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ලට ලබන බ්‍රහස්පතින්දා තෙක් කල් ලබා දුන්නේය.

    වැඩි දුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා රිමාන්ඩ් භාරයේ පසුවන මෙම සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වැයකර විශාල දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවත් විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය.

    එම විමර්ශනයට අදාළව සොයාගත් රුපියල් පන්ලක්ෂ පන්දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කිරීමට අවසර දෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දුන්නේය.

    අනතුරුව නඩුව ලබන 22 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එතෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

    එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 11:28

    Latest News