නෞකාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ජාවක් හෙට (14)

සැප් 13, 2020

    නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පරිසර දූෂණයක් සිදුවූවේදැයි සොයා බැලීමට ලබාගත් ජල සාම්පලවල රස පරීක්‍ෂක වාර්තාව හෙට ලැබෙන බව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

    මේ අතර, නෞකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජාවක් හෙට පැවැත්වීමට නියමිතයි. නෞකාව මේ වනවිට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 52ක් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබේ. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කලේ, හෙට එය අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන්, ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ කිමිදුම්කරුවන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් අදත් නෞකාව පරීක්‍ෂා කිරීමේ කටයුතුවල නිරතව සිටියේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගය පරිදි නෞකාවේ තියෙන සියලුම තෙල්වල සාම්පල ලබා ගැනීමට කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

    එම කණ්ඩායම සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වෙරළ ආරක්‍ෂක බලකාය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතයි. ඔවුන් හෙට නෞකාව වෙත ළඟාවීමට නියමිතයි.

    Latest News