ඉන්දීය සංචිත බැංකුවෙන් ඩො.මිලියන 400ක් ලංකාවට

ජන 10, 2019

    සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

    දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර පවත්නා විනිමය පහසුකම යටතේ මෙය ලබාදෙයි. මීට අමතරව, එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබාගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකු සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීම ද සළකා බැලෙමින් පවතී. ආනයන සහ ණය සේවාකරණය සම්බන්ධ මුදල් ගෙවීම් සිදු කරමින්, අවිධිමත් ගැලපීම් වළක්වා අවශ්‍ය විටකදී ව්‍යවහාර මුදල් තත්වය මනාව පවත්වා ගැනීමෙන් ද විදේශ සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් ද ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමෙහිලා ඉන්දීය සංචිත බැංකුවෙන් ලැබුණු කඩිනම් සහයෝගය මහෝපකාරී වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙම එකඟතාවට එළඹීමේ දී ඉන්දීය මාධ්‍ය රජයත් නවදිල්ලියේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයත් දැක් වූ සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව අගය කරයි. මෙම කටයුතු 2019 වසරේ පළමු කාර්තුවේ දී නිම කිරීමට අපේක්ෂිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 13:11

    Latest News