වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය සතුව පැවතීම ගැන කොමිෂන් සභාවේ අවධානය

සැප් 09, 2020

    වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ලබන 11 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, ඊට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ක්‍රියාකරන බව, කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ගොනු කර ඇති පැමිණිල්ල කොමිසම හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී. වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය 2015 මාර්තු 25 වැනි දින සිට අධිකරණය සතුව පැවතීම පිළිබඳව කොමිෂන් සභාවේ අවධානය යොමුවිය. කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙහිදී අවධාරණය කළේ, වෙනත් අයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම කවුරුන් විසින් සිදු කරනු ලැබුව ද එය, අනීතික ක්‍රියාවක් බවයි.

    ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ තිබීම මගින් තමන්ට අවශ්‍ය අවස්ථාවේදී එය භාවිත කරීමේ හැකියාවක් නොමැතිවීම අසාධාරණ බව, විනිසුරු චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ද පෙන්වා දුන්නේය. සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඇප නියම කිරීම කිසිසේත්ම දඬුවමක් නොවිය යුතු බවයි. එය හුදෙක් විත්කිකරුවෙකු අධිකරණයට ගැනීම සහතික කිරීමේ ක්‍රියා කලාපය සඳහා පමණක් විය යුතුයි. එබැවින් මෙය වහාම නිවැරදි විය යුතු බව, සභාපති විනිසුරුවරයා කියා සිටී.

    දිවි නැඟුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ දී ස්වේච්ජාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම හා “ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්“ සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බවට වෛද්‍ය නිහාල් ජයතිනග මහතා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    එහි සාක්‍ෂිකරුවක් ලෙස නම් කර ඇති වැඩ තහනමට ලක්වූ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට අවස්තා කිහිපයකදී නොතිසි නිකුත් කරනු ලැබ ඇතත්, ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. අද දිනයේත් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කෙරුණ ද ධම්මික හේමපාල මහතා එහි පෙනී නොසිටි අතර, ඔහු කොමිසමට දන්වා ඇත්තේ, තමාට කොමිසම හමුවේ පෙනී සිටීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය අවශ්‍ය බවයි.

    කොමිසම හමුවේ පෙනී සිටීමට එවැනි අවසරයක් අවශ්‍ය නොවන බවත්, ලබන 11 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසටත්, කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය.

    එදිනට ද ධම්මික හේමපාල මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා කරන බව ද සඳහන් කෙරිණ.

    “දූෂණ විරෝධි කමිටුවේ“ ලේකම් ලෙස කටයුතු කළ ආනන්ද විජේපාල මහතාට නොතිසි නිකුත් කෙරුණ ද, ඔහු එම ලිපිනයේ නොමැති බව, මෙහිදී කොමිසමට දන්වා සිටිනු ලැබීම හේතුවෙන් ඔහු අවසන් වරට පදිංචිව සිටි නිවසේ සිතාසිය ඇලවීමට ද කොමිසමේ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

    මේ අතර, හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාට කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා යොමු කෙරුණු නොතිසී පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් ඔවුන් වෙත යොමු කරන ලෙස ද අද දිනයේ දී නියෝග කරනු ලැබීය.

    Latest News