ඉදිරි පැය කිහිපයේ තද වැසි

සැප් 09, 2020

    ඉදිරි පැය කිහිපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ දිවයිනේ නිරිත දිග කොටසට මිලිමීටර 150ක තද වැසි ඇතිවිය හැකි බවයි. අද අලුයම 4.30න් අවසන් වූ පැය 20ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, ඇත්කඳුර, කහදූව යන ප්‍රදේශවලට සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 වැඩි වර්ෂාපතනයක් ලැබී තිබේ.

    ඊයේ රාත්‍රී ඇඳහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ, මාලිගාවත්ත, ආමර්වීදිය, කඩුවෙල 143 බස් මාර්ගය සහ බියගම 228 බස් මාර්ගය ද ජලයෙන් යටවිය. ගාල්ල දිස්ත්‍රික්කයේ ද, ස්ථාන කිහිපයක් ජලයෙන් යටවූ බව අප වාර්තාකරු පවසයි. මේ නිසා ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.

    හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයට මාදම්පේ ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්, දැඩි වාහන තදබදයක් හට ගැණින. පැය කිහිපයක් ඇතුළත ගස් ඉවත් කිරීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් ක්‍රියා කළේය. මේ අතර අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ළඟා වී ඇතැයි, ජලාශ බාර ඉංජිනේරුවරුන් පවසයි. එහි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇඳ හැලුනහොත්, ජලාශ පිටාර ගලනු ඇතැයි ද ඔවුන් සඳහන් කළේය.

    Latest News