සහරාන්ගේ ප්‍රතිපත්තිවලට දේශපාලන පක්‍ෂ කිහිපයක එකඟ වූ බව හෙළිවේ

සැප් 07, 2020

    2015 මැතිවරණයට පෙර සහරාන් හෂීම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට දේශපාලන පක්‍ෂ කිහිපයක් එකඟත්වය පළකර තිබූ බව ජනාධිපති කොමිසමේ දී අද අනාවරණය විය.

    ජනාධිපති කොමිසම හමුමේ සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සඳහන් කළේය.

    අදාළ ප්‍රතිපත්ති මාලාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එකඟත්වය පළ කළේ තමන් බවයි.

    පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට නැගෙනහිර පළාත තුළ දේශපාලන අනුග්‍රහය ලබාදුන්නේ යැයි මීට පෙර ජනාධිපති කොමිසමේ නම කියැවුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද සාක්‍ෂි ලබා දුන්නේය.

    2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තමන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදී පරාජය වූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය.

    කෙසේ වෙතත්, එම මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දැක්වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා මැතිවරණ පරාජයෙන් පසු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපවී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම තුළ 2015 අගෝස්තු 21 වැනි දින යම් ගැටලුකාරී තත්වයක් උද්ගතවූ බව ද සාක්‍ෂිකරු සඳහන් කළේය.

    මෙහිදී සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් තුවාල ලබා රෝහලක ඇඳක් මත සිටින අයුරුත්, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සාක්‍ෂිකාර සිව්ලි ෆාරුක් ඔහුගේ සුවදුක් විමසන අයුරුත් දැක්වෙන වීඩියෝ පටයක් සහ ඡායාරූප පෙළක් කොමිසම සාක්‍ෂිකරුට පෙන්වා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් සාක්‍ෂිකරු කියා සිටියේ, 2015 අගෝස්තු මස 21 වැනි දින හිස්බුල්ලා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබීමෙන් පසු ඇති වූ ගැටුම්වලදී 4 දෙනෙකු තුවාල ලැබූ බවයි.

    පසුව එම සිද්ධිය පිළිබඳව පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතාට දැන්වූ අතර, ඔහු පැමිණ ප්‍රහාරයෙන් හානි සිදුව තිබූ හෝටලය සහ තුවාල ලබා සිටි තම පාක්‍ෂිකයෙකු වූ ගර්භනී කාන්තාවක බැලීමට රෝහලට ගිය බව සාක්‍ෂිකරු වැඩි දුරටත් කියා සිටියේය.

    එම අවස්ථාවේ ලුවාල ලබා සිටි රිල්වාන් නමැත්තා රෝහල තුලදී තමන් සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නිරීක්‍ෂණයට ලක්වූ බවත් එම අවස්ථාව පමණක් ඡායාරූපයට නැගී ඇති බවත් සිබ්ලි ෆාරුක් මහතා සඳහන් කළේය.

    මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කලේ, ඔබ බැලීමට ගියේ පාක්‍ෂිකයෙකුගේ බිරිඳ නම්, ඇය නොබලා පළමුව තුවාල ලබා සිටි රිල්වාන් බැලුවේ මන්ද යන්නයි.

    එය සැලසුම් සහගතව සිදුවූවක් නොවන බවත්, කාන්තා වාට්ටුවට යාමට පෙර තමන් ඇතුළු පිරිස රිල්වාන් දුටු බැවින් ඔහුගේ සුවදුක් විමසූ බව සාක්‍ෂිකරු කියා සිටියේය.

    මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළිත් ප්‍රශ්න කළේ, තුවාල ලබා සිටි රිල්වාන්, සහරාන් හෂීම්ගේ සොහොයුරා බව නොදැන සිටියේ ද යන්නයි.

    ඊට පිළිතුරු දෙිමන් සිබ්ලි ෆාරුක් මහතා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ල වනතුරු තමන් එලෙස සුවදුක් විමසුවේ සහරාන්ගේ සොහොයුරාගෙන් බව නොදැන සිටි බවයි.

    කෙසේ වෙතත් සාක්‍ෂිකරු පවසන්නේ සත්‍යයමදැයි කොමිසමේ සභාපතිවරයා යළිත් ප්‍රශ්න කළ අවස්ථාවේ සාක්‍ෂිකරු කියා සිටියේ, 2017 මාර්තු මස 10 වැනි දින සිදුවූ අලියාර් ගැටුමට සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු රිල්වාන් හෂීම් සම්බන්ධ වී සිටි බැවින් ඔවුන් දෙදෙනා සහෝදරයන් බව තමන් දැන සිටි බවයි.

    එසේ නම්, කොමිසම හමුවේ ව්‍යාජ සාක්‍ෂි ලබාදුන්නේ මන්දැයි සභාපතිවරයා විමසා සිටි අතර, මෙහිදී තමන් අසත්‍ය ප්‍රකාශ කළ බව සාක්‍ෂිකරු පිළිගත්තේය.

    මෙහිදී ජනාධිපති කොමිසම, සහරාන් හෂීම් සමඟ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ සාක්‍ෂිකාරසිබ්ලි ෆාරුක් සාකච්ජාවක නිරත වන වීඩියෝ දර්ශන විවෘත කොමිසම හමුවේ පෙන්වා සිටියේය.

    එහිදී කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ, අදාළ ස්ථානය කුමක්ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු කියා සිටියේ, එය ජාතික තවුහිද් ජමාත් පල්ලිය බවයි.

    කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි 67ක් තිබියදී සාකච්ජාවට මෙම පල්ලියම තෝරා ගත්තේ මන්දැයි මෙහිදී කොමිසම ප්‍රශ්න කළේය.

    කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි විශාල ප්‍රමාණයක් තිබුණ ද, එම ප්‍රදේශයේ ඇති ජාතික තවුහිද් ජමාත් පල්ලිය මෙය බැවින් එය තෝරාගත් බවයි.

    එහිදී සභාපති විනිසුරුවරයා එම පල්ලිය සහරාන් හෂීම්ගේ බව ඔබ කලින් දැන සිටියේ දැයි ප්‍රශ්න කළ විට, සාක්‍ෂිකරු පළමුව නැත, යන පිළිතුර ලබා දුන්න ද, පසුව නැවතත් තමන් එය කලින් දැන සිටි බව ප්‍රකාශ කළේය.

    මේ අතර, සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස යේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මේ වනවිට ජනාධිපති කොමිසමට පැමිණ සාක්‍ෂි ලබා දෙමින් සිටී.

    මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අද පෙරවරුවේ පැමිණියේය.

    පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව, ඔහු ඉන් පිටව ගියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද එම විමර්ශන ඒකකයට අද පෙරවරුවේ පැමිණ පැය 4ක පමණ කාලයක් ප්‍රකාශය ලබා දුන්නේය.

    Latest News