"නිව් ඩයමන්ඩ්" නෞකාවේ ගින්න නැවතත් (වීඩියෝ)

සැප් 07, 2020
  • පාලනය කර තිබූ “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නැවත හටගෙන ඇතැයි වාර්තාවේ.

    නෞකාව ස්ථානගතව ඇති සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30කට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණ තත්වය ගින්න යළි හට ගැනීමට හේතුව බව නාවික හමුදාව පවසයි.

    නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න ඊයේ සවස සම්පූර්ණයෙන්ම නිවා දැමිණ.

    එහෙත් අද උදෑසන යළිත් වරක් සුළු ගිනිදැල් නිකුත්වීමක් දක්නට ලැබිණ.

    ඒ සමඟ ගිනි නිවීමේ වියළි රසායනික කුඩු ටොන් 3ක තොගයක්, අද දිනයේ දී ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාවට මුදා හැරියේය.

    ඊයේ රාත්‍රී සිට නැගෙනහිර මුහුදේ පැවති දැඩි සුළං හේතුවෙන් නිවා දැමූ ගින්න යළි හට ගන්නට ඇතැයි සැක කෙරේ.

    නෞකාවේ ගින්න ඇති වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉතා අධික තාපයක් පවතින හෙයින් ඕනෑම අවස්ථාවක යළි ගිනි දැල් ඇතිවීමේ හැකියාවක් අතැැයි ආරක්‍ෂක අංශ මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

    නෞකාව හිමි සමාගම විසින්, යොමු කළ මුදවා ගැනීමේ විශේෂඥයන් 6 දෙනෙකු සහ ආපදා කළමනාකරණ විශේෂඥයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටියේය.

    එමෙන්ම ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 9ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානා, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් ගින්න පාලනයට එක්ව සිටියේය.

    තවත් ගිනි නිවීමේ විශේෂඥයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය.

    ඔවුන් නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය හා බෙල්ජියම රටවලට අයත්.

    ශවුන් පීසීආර් පරීක්‍ෂණ වලට ලක් කිරීමෙන් පසු දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අනතුරට පත් නෞකාව වෙත යැවීමට පියවර ගෙන තිබේ.

    ඔවුනට පවතින අයහපත් තත්වය නැවට ඇතුලුවීමට හැකියාව නොලැබී ඇති බව වාර්තාවේ.

    මේ හේතුවෙන් නාවික හමුදාව කියා සිටියේ, මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදාගැනීමේ කලාපයෙන් ඉවත්ව යනතුරු අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.

    මේ අතර ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ වත්මන් තත්වය සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජාවක් අද (07) වරාය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    සාකච්ජාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනයන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 20:10

    Latest News