හෙට (07) සිට බිත්තර මිල රු 2.00 කින් පහතට

සැප් 06, 2020

    හෙට (07) සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.

    ඔවුන් මේ තීරණයට එළඹ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේ දී ඊයේ පැවැත්විණ. එහිදී ගත් තීරණයක් අනුව, හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 18.00කටත්, රතු බිත්තරයක් රුපියල් 18.50කටත් මිලදී ගත හැකිය.

    නිෂ්පාදන වියදම අධික වුවද, බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්.සරත් රත්නායක මහතා පවසයි.

    සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 70%ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයෙන් බෙදා හැරෙන අතර, අඩු කළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සූදානම් බව කියා සිටී.

    බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කුකුළු පැටවකුගේ මිල රුපියල් 350ක් තරම් ඉහළ මට්ටමක පැවතීමයි. එම මිල රුපියල් 175 දක්වා අඩුකර දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

    ඒ මොහොතේම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් යන මහත්වරුන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා, එම ඉල්ලීමට අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

    Latest News