ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට විද්වත් කමිටුවක්

සැප් 03, 2020

    ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ බව ප්‍රකාශ කෙරුණේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී. අමාත්‍ය මණ්ඩලය, 2017 වසරේ අගෝස්තු මස 01 වැනි දින අනුමත කර ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නිසි පරිදි අදාළ සියලු පාර්ශවයන්ගෙන් විමසා එය සකස් කර නොමැති බවට නිරීක්‍ෂණය වී ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    වර්තමානයට ගැළපෙන අයුරින් නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ සියලු පාර්ශව නියෝජනය වන පරිදි විධිමත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.

    නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල පවතින බව, සොයා ගෙන තිබේ. අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116ක් සහ අපහරණයට සුදුසු වාහන 5,588ක් පවතින බවට හඳුනා ගෙන තිබේ.

    භාවිත කිරීමට හැකි වාහන අලුත්වැඩියා කර, ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතනවලට ලබාදීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපහරණය කිරීමටත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය සඳහා ණයකරවලින් ප්‍රාග්ධනය සපයා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය වෙනුවෙන් වසර 05ක කාලයක් සඳහා රුපියල් බිලියන 25ක ණයකර නිකුතුවක් සිදු කිරීමට නියමිතයි.

    අදාළ නිවාස විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ණයකර පියවීමටත්, එම නිවාස මිලට ගැනීම පිණිස අදාළ ගැනුම්කරුවන් වෙත සහන ණය පොලී අනුපාතයක් මත රාජ්‍ය බැංකු මගින් නිවාස ණය ලබාදීමටත්, රජය තීරණය කර තිබේ.

    ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කරදීම පිළිබඳ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය. මේ අදාළ වැඩසටහන යටතේ, රත්මලාන, කළුතර, මිල්ලෑව, නාලන්ද, උලපනේ, මාකුඹුර, ඌව පරණගම සහ මඩකලපුව යන කර්මාන්තපුරවල කර්මාන්ත ආරම්භ කිරීමට ආයෝජකයින් 09 දෙනෙකු වෙත වසර 35ක කාලයක් සඳහා බදු පදනම මත ඉඩම් කොටස් වෙන් කරදීමට නියමිතයි.

    ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමායි. සෙසු සාමාජිකයින් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ක්‍රියා කරයි.

    Latest News