කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මෙරට වාර්ෂික බඩඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.
ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණ. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
විශ්වවිද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.