“තොටළඟ කුඩු සඳා“ දැවැන්ත කුඩු ජාවාරමක

සැප් 03, 2020

    වැලිකඩ පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් “කුඩු සදාගේ“ ජංගම දුරකතනයේ තිබූ තොරතුරකට අනුව තවත් හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැණින.

    ඒ වැලිකඩ පොලිසිය විසින්. උපාය දූතයෙකු යොදවා කොලොන්නාව ප්‍රදේශයේදී මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකව තිබී ලක්‍ෂ දෙකක හෙරොයින් ග්‍රෑම් 20ක් ද අත්අඩංගුවට ගැනිණ. “තොටළඟ කුඩු සඳා“ ගේ ජංගම දුරකතනය ඔස්සේ දැවැන්ත කුඩු ජාවාරමක තොරතුරු ජාලයක් හඳුනා ගැනීමට හැකිවී ඇතැයි, වැලිකඩ පොලිසිය පවසයි. ඒ අනුව, ඉදිරියේදී ඒ සියලු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළේය.

    ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 4ක් සහ රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක සාමාජිකයෙකු වන අතර, ගල්කිස්ස, වටරප්පල පාර, සෙම්බර කොටුවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    හෙරොයින් ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු තිස්සමහාරාම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනින. ඒ, නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී. පරීක්‍ෂා කිරීම්වලදී, ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයා ගැණින. එහිදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සමඟ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිමට හැකිවී තිබේ. මේ අතර, අලෙවිය සඳහා යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 681ක් රැගෙන යමින් සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ‍ගැනීමට හැකිවිය.

    මේ අතර, හොරොයින් ග්‍රෑම් 18ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පාදුක්ක ප්‍රදේශයේදී. මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක්, පාපැදියක් හා ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගනු ලැබීය.

    හෙරොයින් ග්‍රෑම් 2යි, මිලිග්‍රෑම් 90ක් සමඟ තවත් සැකකරුවෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ, වැල්ලවාය ප්‍රදේශයේදී. සැකකරු ඉතා සූක්‍ෂම ලෙස සපත්තුවක් තුළ මත්ද්‍රව්‍ය සඟවා තිබු බව ඌව කුඩාඔය පොලිසිය පවසයි.

    හොරණ, උඩුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් සියයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇයගෙන් හෙළි කරගත් තොරතුරු අනුව ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ යතුරු පැදියක් පරීක්‍ෂා කිරීමේදී පොල් ගෙඩියක් තුළ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 400ක් ද සොයා ගැනීමට හැකිවිය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැණින.

    Latest News