දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක්

සැප් 01, 2020

    දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියැද්ද හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයකට ඊයේ රාත්‍රී තද සුළං තත්වයක් ද බලපා තිබේ.

    හෙට දිනයේ ඌව, නැගෙනහිර, මධ්‍යම හා සබරගමුව යන පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක පමණ තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරේ.

    බස්නාහිර, වයඹ, දකුණු යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ බලාපොරොත්තු වේ. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30ත්, 40ත් පමණ අගයක් ගනු ඇති බව කාලගුණ නිවේදනයේ සඳහන්. දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

    මේ අතර වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයට ඊයේ රාත්‍රී බලපෑ සුළං තත්වයක් හේතුවෙන් නිවාස 32කට අලාභහානි සිදුව තිබේ. තද වැසි සමඟ සුළං හටගත් බව, ප්‍රදේශවාසීන් පවසයි. විපතට පත්වූවන්ට සහන සැලසීමට වවුනියාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ, රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 20කට අධික සංඛ්‍යාවකට අලාභහානි සිදුවිය. අප වාර්තාකරු පවසන්නේ සිදුව ඇති අලාභය ගණනය කෙරෙමින් පවතින බවයි.

    ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැද්දෙවෙල ගම්මානය හරහා ඊයේ රාත්‍රී හමාගිය දැඩි සුළඟකින් එහි නිවාස කිහිපයකට ද අලාභ හානි සිදුව තිබේ. දැඩි වර්ෂාවත් සමඟ ඇති වූ සුළං තත්වය හේතුවෙන් විශාල ප්‍රමාණයේ ගස් කඩා වැටී තිබිණ. දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ථාන කිහිපයකට ගස් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වූ අතර, විදුලිය සැපයුමට ද බාධා සිදුවු බව අප වාර්තාකරු පවසයි.

    Latest News