ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකවන්න; ජනපති (වීඩියෝ)

සැප් 01, 2020
  • ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායක වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

    රටේ සියලු මාර්ග ඉදිරි සිවි වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිතුමා කියා සිටී. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්ය බාරය සහ වගකීම පිළිබඳ දැනුවත් කිරීමට පැවති සාකච්ජාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    සාකච්ජාව ඊයේ පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදී. අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ එක්ව රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්‍ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බව, ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරුන් පත් කළේ, ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරීමට බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    බොහෝ දිස්ත්‍රික්කවලට පොදු සහ ඒවාට පමණක් විශේෂිත වූ ප්‍රශ්න රජය විසින් හඳුනාගෙන තිබේ. පානීය සහ වාරි අවශ්‍යතා, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි ගම්වැදීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අඩුපාඩු කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණයි. එය ඉටුකර ගැනීමට අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන අවස්ථාවේදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ද පත් කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී තිබේ. ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා සාකච්ජාවේදී කියා සිටියේ, ඉදිරි අයවැයෙන් මුදල් වෙන්කර ඇණහිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළ යුතු බවයි.

    අමාත්‍යාංශවල රාජකාරිවලට සහ නිලධාරීන් සමඟ සම්බන්ධ වී ක්‍රියාකර දේශපාලඥයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කළ යුතු බව ජනාධිපතිතුමා කමිටු සභාපතිවරුන්ට ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා අපේක්‍ෂා කරන සහය දෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් කමිටු සංවර්ධන සභාපතිවරුන් මෙහිදී සහතික වූහ.

    ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද සාකච්ජාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 19:48

    Latest News