කිලෝ 5ක රන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අගෝ 30, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 5යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නාවික හමුදාවේ උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනූව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව උතුරු මුහුදේ කරෙයිනගර් දූපතේ කෝවිලන් ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14.5ක් දුර මුහුදු ප්‍රදේශයේ දී මෙම මෙහෙයුම සිදුකර තිබේ.

    එහිදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර එහි තිබී ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 4ක ආරක්ෂිතව අසුරන ලද රත්‍රං කිලෝ 5යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් හා සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන්නන්. රත්‍රං ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    Latest News