සිද්ධිය පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 20 වන දිනටත් සාක්‍ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ, විදෙස් බුද්ධි තොරතුර අනුව සියළුම ආරක්‍ෂක අංශ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වී සහරාන්ගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රහාරයේ ප්‍රමාණාත්මක භාවය අඩුකර ගැනීමේ හැකියාවක් තිබුණ ද එය සම්පූර්ණයෙන් වැළැක්වීමට හැකියාව තිබුණේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් බවයි.
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 20 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අතර එහිදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විසින් දෙවන දිනටත් සාක්‍ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබීය.
සාක්‍ෂිකරු වෙත හරස් ප්‍රශ්නයක් යොමු කරමින් පළමුව නීතිඥවරයා විමසා සිටියේ 2019 අප්‍රේල් මස 04 වනදින ලද විදෙස් බුද්ධි තොරතුර එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා යොමු කිරීමේදී ටෝප් සීක්‍රට් යන වදනට වඩා වැඩියමක් සටහන් නොකළේ මන්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ “මම හිතුවා ටෝප් සීක්‍රට් කියන එක තේරුම් ගනී කියලා. මට ඉහළින් හිටපු සෑම නිලධාරියෙකුටම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් යම් දැනුමක් තිබ්බා. සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා හැටියට වැඩකරන්නේ 2015 ඉඳලා. මේ මම ටෝප් සීක්‍රට් කියලා යවපු පළමු බුද්ධි තොරතුර නෙමේ.
මම විශ්වාස කළා කැබිනට් එකෙන් පත් කරපු නිලධාරීන්ට තමන්ට එන කොළයක් කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තිබ්බා කියලා. නමුත් මට දැන් හිතෙනවා ගතයුතු පියවරක් ලිඛිතව දැනුම් දුන්නා නම් හොඳයි කියලා.
මෙහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් නොවිමසූ ප්‍රශ්න හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විමසන්නේ මන්ද යන්නයි.
සභාපතිවරයාගේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා කියා සිටියේ මගේ සේවාදායකයා වන හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එල්ල වෙලා තියෙන චෝදනා තමයි, 04 වෙනිදා බුද්ධි තොරතුර ලැබුණා. 21 ප්‍රහාරයක් එල්ල වුණා. දවස් 17ක් යනකං කිසිම පියවරක් ගත්තේ නැහැ කියන එක.
ඒ සම්බන්ධයෙන් ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පවා තිබෙනවා. ඒ නිසා මට අවශ්‍යයි අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර 21 වෙනකං තිබුණේ කවුරු ළඟද, ඔවුන් කොහොමද ක්‍රියා කළේ, දින 17 ඇතුළත ලිපි කොහොමද හුවමාරු වුණේ කියලා මේ ගරු කොමිසමට පෙන්වා දෙන්න.
එහිදී වැඩි දුරටත් සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් නීතිඥවරයා විමසා සිටියේ අප්‍රේල් 04 බුද්ධි තොරතුරේ වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් වූ බැවින් එය කියවූ විට කුමන පල්ලි, වැදගත් පල්ලි ලෙස හැඟි ගියේද යන්නයි. වැදගත් පල්ලි යන්න තුළින් එක්වරම තමාගේ හිතට ආවේ කොච්චිකඩේ පල්ලිය බවත්, වෙනත් පල්ලි කිසිවක් මතකයට පැමිණියේ නොමැති බවත් ජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ වැදගත් පල්ලියක් ලෙස කොච්චිකඩේ පල්ලිය හැගී ගිය බැවින් ඒ අවට ආවේශන රාජකාරි කරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාට සහ සහකාර අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව නියෝග කළේ ද යන්නයි.
තමන් ලිඛිතව එවැනි නියෝගයක් නොකළ ද වාචිකව ඒ අවට අවේශන රාජකාරි සිදුකරන ලෙස දැනුම් දුන් බැවින් තම නිලධාරින් එම ප්‍රදේශයේ ආවේශන රාජකාරි කරන්නට ඇති බව නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ බුද්ධි නිලධාරින්ට වඩා නිල ඇඳුමෙන් සිටින නිලධාරින් ආරක්‍ෂාව සඳහා යෙදවූවේ නම් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණෙන්නන් තුළ යම් චකිතයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි.
මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ අප්‍රේල් 04 වන දින ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශ පූර්ව දැනුවත් කිරීමක් කර තිබියදීත්, අප්‍රේල් 16,17 දින සහරාන් හෂීම් ප්‍රමුඛ අනුගාමිකයන් ප්‍රහාරය සැලසුම් කිරීමට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුළ ගැවසී ඇති පසුබිමක බුද්ධි අංශ එම හෝටල්වල ආවේශන රාජකාරි සිදු නොකෙළේ ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා ප්‍රකාශ කලේ, බුද්ධි තොරතුරේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් වුවද සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් තරු පහේ හෝටල්වල ගැවසෙන බවට තමන්ට තොරතුරු ලැබී නොතිබුණු බවයි.
එබැවින් තරු පහේ හෝටල්වල පැය 24ම ආවේශන රාජකාරිවල යෙදවීමට රාජ්‍ය බුද්ධි සේවය සතුව නිලධාරින් ද නොමැති බැවින් එම හෝටල්වල නිලධාරින් අවේශන රාජකාරිවල යෙදවීමක් සිදු නොකළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා සාක්‍ෂිකරුට යෝජනා කර සිටියේ, විදෙස් බුද්ධි තොරතුර ලැබුණේ ඔබට බැවින් ඒ තොරතුරේ අවදානම තුරන් කිරීමට පැහැදිලිව හැකියාව තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාට බවයි.
ඊට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා සඳහන් කළේ, රටේ පවතින නීතිය සංශෝධනය කරලා අපිටත් හමුදා පුහුණුව දීලා තුවක්කු අතට දුන්නා නම් අපිට ඒක කරන්න පුළුවන්. ප්‍රහාරයක් එල්ල වෙනකං මම විතරයි සබ්ජට් එකේ හිටියේ, අනික් අය හිටියේ වෙන වෙන සබ්ජට්වල මම විතරක් සහරාන් කියන සබ්ජට් එකේ ඉඳපු එකයි වැරැද්ද. දැන් මේ ඔක්කොම කියන්නේ ප්‍රහාරයක් එල්ල වුණ නිසා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහත්මා වෘත්තිකයෝ නැහැ. ඉන්නේ පුද්ගලයෝ විතරයි. යනුවෙන් ජයවර්ධන මහතා සාක්‍ෂි ලබාදුන්නේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2019 වසරේ ජනවාරි ඉඳලා බුද්ධි සමාලෝචන රැස්වීම් 26ක් තියෙන්න තිබ්බා. 05යි තිබ්බේ. මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ.
මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සියළුම ආරක්‍ෂක අංශ එක්ව කණ්ඩායමක් ලෙස රාජකාරි සිදු කළේ නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණේ ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ, සියයට සියයක් නොවුනත් යම් ප්‍රමාණයකට හානිය අවම කරගන්න තිබුණා ලෙසයි. එහිදී කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කලේ, සම්පූර්ණයෙන්ම ප්‍රහාරය වළක්වා ගැනිමට හැකිවන තරමට රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් 04 විදෙස් බුද්ධි තොරතුර වැඩිදියුණු කිරීමට අසමත් වුණේ ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා පැවසුවේ, මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අසීරු කටයුත්තක්. නවුෆර් හෝ ඊබ්‍රාහිම් සහෝදරයෝ අත්අඩංගුවට ගත්තා නම් යම් ප්‍රමාණයකට ප්‍රහාරයේ විශාලත්වය අවම කර ගැනීමට තිබුණා. නමුත් සම්පූර්ණ ප්‍රහාරයම වැළැක්වීමට නම් සහරාන් හෂීම්ම අත්අඩංගුවට ගත යුතුව තිබුණා.