පාස්කු ප්‍රහාරය වළක්වන්න උපරිම දේ කළා; නිලන්ත ජයවර්ධන (වීඩියෝ)

අගෝ 26, 2020
  • පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන විට ඇතැමුන් අලුත් අවුරුද්දට සිය ආයතන වසා තිබුණද, තවත් අය නිවාඩු ලබා විදෙස්ගතව සිටියද, තවත් පිරිසක් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු නිදාගෙන සිටියද, ප්‍රහාරය වළක්වා ගැනීමට තමන් තමන්ට කළ හැකි උපරිම දේ සිදු කළ බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පැවසීය.

    ආරක්‍ෂක අංශවල වසර ගණනාවක් එකට රැකියාව කළ නිලධාරින්ගේ සැබෑ ස්වරූපය දැනගැනීමට හැකිවූයේ, පාස්කු ප්‍රහාරයට පසුව බවත්, එවැනි නිලධාරින් පිරිසක් සමඟ වැඩ කිරීමට සිදුවීම ගැන අද තමන් දැඩි ලෙස කණගාටුවන බව 18 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේය.

    හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය. මෙහිදී ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා විමසා සිටියේ, 21 හෝ ඊට පෙර ගහනවා යැයි, අප්‍රේල් 20 වැනි දින පැහැදිලි තොරතුරක් ලැබී තිබියදී හෝ ජනාධිපති ලේකම්වරයා අමතා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස, ඉල්ලීමක් කර මහජන සාමට ආරක්‍ෂා කිරීමට, යුද හමුදා සහාය ලබාගැනීමට ක්‍රියා කළේ ද යන්නයි.

    එම ප්‍රශ්න ඇසීමත් සමඟ කිසියම් ආවේගයකින් පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ජනාධිපතිට කිව්වද ඇහුවා. අගමැතිට කිව්වද ඇහුවා. ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, ජාතික බුද්ධි ප්‍රධානිට, කිව්වද ඇහුවා. දැන් ඒ පාර ජනාධිපති ලේකම්ට කිව්වද කියලත් අහනවා. මේ ඔක්කොටම කියන්න ඕන මමද? ඊළඟට අහයි, නිලන්ත ඇයි ඔයා රටටම නොකිව්වේ කියලා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ තොරතුරු රැස් කරන්න ඕන. පණිවුඩ කියන්න ඕන. ලියුම් ගහන්න ඕන නිලන්තද? එතකොට අනෙක් අයට පඩි ගෙවන්නේ නිකන්ද? රට තුළ ක්‍රමානුකූලව සැකසුන ධූරාවලියක් තියෙනවා. ඒ ධූරාවලියේ, එක් එක් නිලයන්ට පැවරුණු වගකීම් තියෙනවා. හැමදේටම හරි හරි කියන්න නිලධාරීන් ඕන නැහැ.

    ජනාධිපතිගේ වැඩෙයි, ආරක්‍ෂක ලේකම්ගේ වැඩෙයි, පොලිස්පතිගේ වැඩෙයි, ඔය හැම වැඩේම මම කරන්න ඕන නම් ඒ අය ඕන නැහැ. මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි. මට කණගාටුයි මේ වගේ ටීම් එකක් එක්ක වැඩකරන්න සිදුවීම ගැන. 21න් පස්සේ තමයි ඇත්ත පුද්ගලයෝ කව්ද කියලා දැනගත්තේ. ගත්ත දුරකතන ඇමතුම්වල ස්ක්‍රීන් ෂොට් ගත්තේ නැත්නම් අද වෙද්දි රාජ්‍ය බුද්ධි සේවය මුකුත්ම කරලා නැහැ. යවපු වට්ස්ඇප් පණිවුඩ නොතිබුණා නම් මම අද හිරේ.

    2015 ඉඳලා යවපු කිසිම බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් කිසිදු ඉහළ නිලධාරියෙක් වැඩිදුර වාර්තා ඉල්ලා නැහැ. පොලිස්පතිවරයා පමණක් දෙතුන් පාරක් වැඩි දුර වාර්තා ඉල්ලලා තියෙනවා.

    ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම ගැන, යවපු කිසිම ලේඛනයකට, කිසිම කෙනෙක් වැඩිදුර වාර්තා කැඳෙව්වේ නැහැ. එක ලේඛනයකට හරි වැඩිදුර වාර්තා කැඳවලා තියෙනවා කියල ඔප්පු කළොත්, මම මේ දැන් සේවයෙන් ඉල්ලා අස්වෙනවා.

    2015 ඉඳලා සහරාන් ගැන වාර්තා 307ක් පමණ යවලා තියෙනවා. බුද්ධි තොරතුරු සපයපු ක්‍රමවේදයේ වරදක් තියෙනවා නම්, දැන් නෙමෙයි අවුරුදු 5කට කලින් කියන්න තිබුණා. ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීමක් කරල තියෙත්දීත් සමහරු අවුරුද්දට ආයතන වැහුව. ආයේ ඇරියේ ප්‍රහාරයෙන් පස්සේ.

    තවත් අය පූර්ව දැනුවත් කිරීම් කර තිබියදීත් රට ගියා. තවත් මිනිස්සු ගෙදරට වෙලා බුදියගත්තා. තවත් අය පල්ලිවලට ගහනවා කියද්දි, පල්ලි ගියේ නෑ. අන්තිමට ඇයි කිව්වේ නැත්තේ කියල අහන්නෙ මගෙන්. මම මට කරන්න පුළුවන් දේ කළා. ආරක්‍ෂක ලේකම්ට කිව්වා. ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා, පොලිස්පතිට කිව්වා. ඒ හැමෝටම කියලා ජනාධිපතිට කියන්න උත්සාහ කළා. ආන්සර් නොකළ එක මගේ වැරැද්දක් නොමෙයි. මම මට පුළුවන් හැමදේම කළා. අදටත් මට හොඳට නින්ද යනවා.

    මේ අතර, පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසමේ පොලිස් නිලධාරින් අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. කොමිසම හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබිණ. හිටපු ජනාධිපතිවරයා කොමිසමට දැනුම් දුන්නේ, තම නිවසට පැමිණ ප්‍රකාශය ලබාගන්නා ලෙසයි. ඒ අනුව, කොමිසමේ පොලිස් නිලධාරින් කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට අද උදේ පැමිණියේය. පෙරවරු 9.30 සිට අද සවස් වනතුරුත් ප්‍රකාශය ලබාගත් බව වාර්තාවේ.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:16

    Latest News