අගමැති දිවුරුම්දීම හෙට (09)

අගෝ 08, 2020

    මහ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා හෙට (08) අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

    ඒ, සිව්වැනි වරටයි. දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. එය උදේ 8.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරිමට නියමිතයි.

    සිය පියාණන්ගේ අභාවයෙන් පසු 1967 වසරේදී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්‍ෂ මහතා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය. මහින්ද රාජපක්‍ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි. එතුමා කැපී පෙනෙන කාර්ය භාරයක් 1988/89 කාලවකවානුවේදී සිදු කළේය. ඒ එවක ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමයි.

    1989 යළි පාර්ලිමේන්තුවට පැමිණි එතුමා, එක්සත් ජාතික පක්‍ෂයේ 17 වසරක පාලනය නිමා කරන්නට පෙරමුණ ගෙන ක්‍රියා කළේය. ජන ඝෝෂා, පාද යාත්‍රා යමින් 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු පාලනයක් ගොඩනැගීමට මහින්ද රාජපක්‍ෂ මහතා කැපී පෙනෙන මෙහෙවරක නිරත විය. කම්කරු, ධීවර වැනි අමාත්‍යාංශ ගණනාවක් සාර්ථකව මෙහෙයවූ එතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා ලෙස ද ක්‍රියා කළේය. 2004 වසරේ අප්‍රේල් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.

    2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දිවුරුම් දුන්නේය. 30 අවුරුදු යුද්ධය නිමා කරමින් මව්බිමට සාමය උදා කිරීමට නායකත්වය දුන් එතුමා, 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා යළි ජනාධිපති ධූරයට පත්විය. 2015 පැවති ජනාධිපතිවරණායෙන් පරාජය වුවද, ජනතාවගේ දැඩි ඉල්ලීම හමුවේ එතුමා යළි ජනතා සේවයට එක්විය.

    2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට සමත්විය. මෙය, නව දේශපාලන පක්‍ෂයකට 70%කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිවූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිසයට එක්විය.

    2019 ජනවාරි මාසයේ දී දෙවැනි වරටත් විපක්‍ෂ නායක ධූරයට පත් රාජපක්‍ෂ මහතා, එක්සත් ජාතික පක්‍ෂ රජය පෙරළා දැමීමට අවශ්‍ය ජනතා බලය සංවිධාන කළේය.

    ඒ අනුව 2019 වසරේ නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණය කළේ, ලක්‍ෂ 69කට වැඩි ජනවරමක් හිමිකර ගනිමින්.

    අනතුරුව පත් කෙරුණු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේද මහින්ද රාජපක්‍ෂ මහතායි. 2020 අගෝස්තු 05 දා පැවති මහ මැතිවරණය ද මන්ත්‍රී ධූර 145ක් සමඟින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ, මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට පන් ලක්‍ෂ 27,364ක මනාප සංඛ්‍යාවක් හිමිවිය. ඒ පාර්ලිමේන්තු මහ මැතිවරණයක අපේක්‍ෂකයෙන් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වේ.

    ජන හදවත් තුළ නොමැකෙන නාමයක් සටහන් කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂ චරිතයක් බවට පත්ව සිටී.

    Latest News