මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප අගමැති මහින්දගෙන්

අගෝ 08, 2020

    මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්‍ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගනිමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සුවිශේෂි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

    ඔහු ලබාගත් මනාව සංඛ්‍යාව පන් ලක්‍ෂ 27,364ක්.

    මෙරට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පළමු මැතිවරණය වන්නේ, 1989 මහ මැතිවරණයයි. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ලලිත් ඇතුලත්මුදලි මහතා මනාප දෙලක්‍ෂ 35,447ක් ලබාගෙන දිවයිනේ ප්‍රථමයා බවට පත්විය.

    අනතුරුව, 1994 මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාපලාභියා වන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්වූවාය. පොදු පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරමින් ඇය මනාප හාර ලක්‍ෂ 64, 588 ලබාගැනීමට සමත්වූවාය.

    2000 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප තුන් ලක්‍ෂ 63,668ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්විය.

    2001 මහ මැතිවරණයේදී මනාප හාර ලක්‍ෂ 15,686ක් ලබාගත් අතර, 2004 මහ මැතිවරණයේදී මනාප තුන් ලක්‍ෂ 29,524ක මනාප ලබා ගනිමින් අඛණ්ඩව මැතිවරණ තුනකදී දිවයිනේ වැඩිම මනාප ලාභියා වූයේ රනිල් විකුමසිංහ මහතායි.

    කෙසේ වෙතත්, 2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රිකයෙන් තරග කළ බැසිල් රාජපක්‍ෂ මහතා මනාප හාර ලක්‍ෂ 25,861ක් ලබා ගනිමින් එම මහ මැතිවරණයෙන් දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත්විය.

    ඉන් අනතුරුව, 2015 මහ මැතිවරණයේදී පන් ලක්‍ෂ 566 මනාප ලබා ගනිමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එතෙක් පැවති සියලු මනාප ප්‍රතිඵල වාර්තා බිඳ හෙලමින් වාර්තා පොත් අතරට එක්විය.

    2020 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මෙතෙක් ඉතිහාසයේ මහ මැතිවරණවල තබා තිබූ මනාප ප්‍රතිඵල වාර්තා සියල්ල බිද හෙළමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මනාප පන් ලක්‍ෂ 27,364ක් ලබා ගැනිමට සමත්විය. එය ප්‍රතිශතයක් ලෙස 81.1%ක් ලෙස වාර්තා විය.

    සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව 1989 සිට මේ දක්වා පැවති සියලු මැතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේ, මහින්ද රාජපක්‍ෂ මහතායි.

    Latest News