ලෝක නායකයන්ගේ සුබපැතුම්

අගෝ 08, 2020

    මෑත ඉතිහාසයේ විශිෂ්ටතම මහ මැතිවරණ ජයග්‍රහණයක් අත්කරගත් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවදුරටත් ලෝක නායකයන්ගේ සුබපැතුම් පළවෙමින් තිබේ.

    ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා, මහින්ද රාජපක්‍ෂ මහතාට සිය සුභාශිංශන පළ කරමින් දුරකතන ඇමතුමක් ලබාදී තිබේ. තමා ජනාධිපති පදවිය දැරූ සමයේ දෙරට අතර රාජ්‍ය නායක සංචාර සහ සබඳතා ශක්තිමත් වීම පිලිබඳව මහින්ද රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් සිහිපත් කර තිබේ. එම සහයෝගීතාව ඉදිරියටත් පවත්වා ගෙන යා හැකි බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ද දුරකතන ඇමතුමක් මගින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට සුබ පතා තිබේ. 2013 වසරේ කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඔස්ට්‍රේලියාව ලබාදුන් සහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙහිදී කෘතවේදීව සිහිපත් කර තිබේ.

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ද සිය සුභාෂිංශන පළ කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට අද දුරකතන අමතුමක් ලබා දුන්නේය. තම ඉදිරි පාලන සමය තුළ දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කරලීම සඳහා ඉඩ ලැබෙනු ඇති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ශර්මා ඔලි යන මහත්වරු ද මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඊයේ සුබපැතුම් පළ කළේය.

    Last modified on සෙනසුරාදා, 08 අගෝස්තු 2020 20:26

    Latest News