අගමැති කතරගම පුදබිමට යයි

ජන 06, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.

    ආගමික වැඩසටහන් රැසක් එහි සංවිධාන කර තිබිණ. කතරගම පුදබිම වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමා ප්‍රථමයෙන් කිරිවෙහෙර සෑරඳුන් වැඳ පුදා ගත්තේය. අනතුරුව, කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ සුහද පිළිසදරක නිරත විය. අෂ්ටඵල බෝධිය අභියස පැවති බෝධි පුජාවට සහභාගි වූයේ ඉන් අනතුරුවයි.

    කතරගම මහ දේවාලය වෙත ගිය වික්‍රමසිංහ මහතා එහි පැවති පූජාවට ද සහභාගි විය. ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් ද බැහැදුටුවේය. කතරගම දේවාලයේ බස්නායක නිල මැදුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා විසිනි.

    කතරගම පුදබිමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ජා කෙරිණ. වැඩිහිටිකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඥානානන්ද හිමියෝ ද ඊට සහභාගි වූහ. මැති-ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    pmkataragama px 900 19 01 06

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 13:11

    Latest News